you're reading...
Theories

ඒක සළබයා සමනළයා වෙනවා වගේ වැඩක් – ආචාර්ය ධර්මසේන පතිරාජ


1499542_1444337992451655_2046798745_nඔබගේ මුල්ම සිනමා කෘතිය අහස් ගව්ව. ප‍්‍රංශ නවරැල්ල, ඉතාලියානු නව යථාර්ථවාදය වගේ සිනමා ශෛලීන්ගේ ආභාසය මෙම කෘතිය පුරාවටම අපි දකිනවා. මම කැමතියි ඔබත් සමග මේ කතාබහ අහස් ගව්ව පිළිබඳව ආපසු හැරී බැලීමෙන්ම පටන් ගන්න.අපි සිනමාව අධ්‍යයනය කරන කාලය තමයි යථාර්ථවාදී සිනමාවේ අවසාන කාලය. 60 දශකය කියලා කියන්නේ නූතනවාදී සිනමාවක ආරම්භය. මේක අපිට තදින්ම බලපෑවා. අපිට ඒ කාලේ විශේෂයෙන්ම විශ්වවිද්‍යාලයේ සිනමා සංගම්, කොළඹ තානාපති කාර්යාල වගේ තැන් නිසා සිනමාවේ මේ ප‍්‍රවණතාත්මක වෙනස ඉක්මණින් තේරුම් ගන්න පුළුවන් වුණා. දැන් සාහිත්‍යයේ තියෙන ගුණයක් තමයි අන්තර් පඨිතතාව කියල කියන්නේ. අද මට අහස්ගව්ව ගැන නැවත හැරී බලනකොට තේරෙනවා මේ ලක්ෂණය ඒ සිනමාව තුළ හොඳටම තිබුණා කියලා. එහෙත් ඒ කාලේ අපි ඒක දැනගෙන හිටියේ නැහැ. එහෙත් මගේ සිනමාවට සාහිත්‍යය නාට්‍යය වගේ අන්තර් කලාවන්ගේ බලපෑම තියෙනවා.

ප‍්‍රංශ නවරැුල්ල, ඉතාලියානු නව යථාර්ථවාදය වගේ සිනමා ශෛලීන් තුළින් නිර්මාණය වුණ සිනමා කෘති ගොඩක් ඒ කාලේ අපි බැලූවා. ඒ ඒ සිනමාවට අනන්‍ය ලක්ෂණ අධ්‍යයනය කළා. අහස්ගව්වේ ඉන්නේ වෘත්තීය නළු නිළියෝ නෙවෙයි. විජයත් ඒ කාලේ එහෙමයි. එතකොට ඒවා යුරෝපීය අර මුලින් කියපු සිනමා දහරාවලින් ආපු ඒවා. දැන් ඩි සිකාගේ ‘බයිසිකල් තීව්ස්’ කියන සිනමා කෘතියෙත් වෘත්තීය නළු නිළියෝ නැහැ. මේවා අපිට බලපෑවා.

ඔබ සිනමා අධ්‍යයනයට සමගාමීව නාට්‍ය කලාවත් සමීපව අධ්‍යයනය කළ කෙනෙක්. එයිනුත් විකාරරූපී නාට්‍ය කලාවට (Absurd Theatre) ඔබේ ඇල්ම අතිවිශාලයි. ඔබ අයනෙස්කොගේ චෙයාස් (Chairs) කියන නාට්‍යය සිංහල වේදිකාව මත නිෂ්පාදනය කරනවා. වේදිකාව ඔබේ සිනමාවට බලපෑවේ කොහොමද?

මම සිනමාව හෝ කොයිම කලාවක්වත් වෘත්තීය මට්ටමින් කළ කෙනෙක් නොවෙයි. මගේ වෘත්තීය විශ්වවිද්‍යාලයේ උගැන්වීම. විකාරරූපී නාට්‍ය කලාව කියන එක මට එන්නේ විශ්වවිද්‍යාල පාඨමාලා නිසා නොවෙයි. ඒක මගේ බාහිර හැදෑරීමක ප‍්‍රතිඵලයක්. අයනෙස්කෝ, සැමුවෙල් බෙකට්, එඞ්වඞ් ඇල්බි, හැරල්ඞ් පින්ටර් වගේ නාට්‍යකරුවන්ගේ නාට්‍ය ගැන ඒ කාලේ ලොකු කතා බහක් තිබුණා. ඒ නිසා තමයි අපි ඒ නාට්‍ය ගැන කියවන්න පුරුදු වුණේ. ඒක නිසා තමයි මම ඒ කාලේ පුටු කියන නාට්‍යය කළේ. ඒක ඒ කාලේ නව ප‍්‍රවණතාවක් වුණා. ගොඩෝ එනකම් පරිවර්තනය වුණා, සිරි ගුනසිංහගේ අබිනික්මන, අජිත් තිලකසේනගේ, සයිමන් නවගත්තේගමගේ සාහිත්‍ය ව්‍යාපාරය.. මම හිතන්නේ අපිට නූතනවාදී ප‍්‍රවණතාව එන්නේ මේ ප‍්‍රවණතා හරහා. අසෝක හඳගමගේ ‘‘ඉනි අවන්’’ නිසා නැවත අපි ලාංකේය දෙමළ සිනමාවක් ගැන කතා කරන්න පටන් අරගෙන. මම කැමතියි පොන්මනී ගැන ඔබගෙන් දැන ගන්න.

පොන්මනී බිහිවෙන්නේ යාපනය විශ්වවිද්‍යාලය නිසා කිව්වොත් නිවැරදියි. මම යාපනය විශ්වවිද්‍යාලයට කථිකාචාර්යවරයෙක් විදිහට යනකොට ඔවුන් මම සිනමාකරුවෙක් කියලා දැනගෙන හිටියා. එතකොට යාපනේ දෙමළ කලාකරුවෝ සහ මම අතර එ දවස පැවති සම්බන්ධයේ ප‍්‍රතිඵලය තමයි පොන්මනී. මම ඒ කාලේ යාපනයට ගිය ගමන්ම එහෙත් සිනමා සංගමයක් හැදුවා. ඒ සිනමා සංගමයත් මේ සිනමා කෘතිය නිමවීමේදී ගොඩක් උපකාරී වුණා. පස්සෙ මෑතක 2003 අවුරුද්දේ ප‍්‍රංශයේ කාන්වල මේ සිනමා කෘතිය පෙන්නුවාට පස්සේ ආයෙත් යම් කතාබහක් මේ ගැන ආරම්භ වුණා.

ඔබගේ සිනමා ජීවිතය ඇතුළේ ලංකාවේ පේ‍්‍රක්ෂකයන්ට අවසන්වරට දකින්න ලැබුණු සිනමා කෘතිය ‘‘මතු යම් දවස.’’ පුද්ගලිකව මට හිතෙනවා. ඔබගේ අනෙකුත් සිනමා කෘතීන් සමග සන්සන්දනය කොට සිනමා කෘතිය අසාර්ථකයි කියලා. ඔබේ හැ`ගීම මොන වගේද?

මතුයම් දවස අසාර්ථකයි කියන එක ඔබේ හැ`ගීම. ඒත් මේක බලපු ගොඩක් දෙනෙක් මට මේ සිනමා කෘතිය හොඳයි කියලා කිව්වා. මම හිතෙන්නේ මතුයම් දවස ලංකාවේ අපිට තේරුම් ගන්න බැරි වුණා. ඒ කාලේ මගේ ‘පාර දිගේ‘ සිනමා කෘතියටත් වුණේ ඔය ටිකම තමයි. පස්සේ පාර දිගේ ගැන ගොඩක් දෙනෙක් කතා කළා. මතු යම් දවස බලපු කෙනෙක් මට කිව්වා අහස් ගව්ව, පාර දිගේ සහ මතුයම් දවස ගී‍්‍රක ති‍්‍රත්වයක් වගේ කියලා.

සිනමා කලාවටත් කාලයෙන් කාලයට එක එක සංකල්ප එනවා. කාව්‍යාත්මක සිනමාව. දැන් විමුක්ති වගේ කෙනෙක් ගත්තොත් මාධ්‍ය සිනමාවක් ගැන කතා කරනවා. මම කැමතියි මේ පසු නූතන තත්ත්වය තුළ සිනමාව ගැන ඔබේ අදහස.

පැසෝලිනි (Pasolini) තර්කොව්ස්කි (Tarkovsky) වගේ සිනමාකරුවන් හරහා තමයි ඔබ ඔය කියන සංකල්ප සිනමාවට ආවේ. දැන් සිනමාව කවියක් කියන එක එක් ප‍්‍රවණතාවක්. සිනමාවේ වර්ධනය කියන එක නැවතිලා නැහැ, ඒක දවසින් දවස වර්ධනය වෙනවා. සිනමාව කවියක් කියලා සරලව ගත්තොත් පශ්චාත් විග‍්‍රහවාදී සංකල්පය හරහා තමයි ඕක සාකච්ඡුා කරන්න වෙන්නේ. සිනමාව කියන එක කේවල පද්ධතියක් නොවෙයි. දැන් කවිය කියන්නේ මොකක්ද කියලා අපිට පාසල්වල උගන්වන දෙයක් තියෙනවානේ. ඒ උගන්වන අර්ථයෙන් මේක රස විඳින්නත් බෑ. කියවන්නත් බෑ. දැන් අපි සිනමාලංකාරය රූපාලංකාරය කියලා කියන වචන පාවිච්චි කරනවා මේවා වැරදියි. ඒව ඒ කාලේ හරියට අල්ල ගත්තේ නැහැ. සිනමාව රූපය ඉක්ම වූ ප‍්‍රතිරූපයක් කියලා කිව්වොත් ඒක නිවැරදියි.

ඔබගේ නවතම සිනමා කෘතිය ස්රූප. මෙම කෘතියට පාදක වෙන්නේ ලෝ ප‍්‍රකට සාහිත්‍යකරුවෙක් වෙන ෆ්රාන්ස් කෆ්කාගේ රූපාන්තරණය (The metamorphosis)

ඔබ නිවැරදියි. මේක ලෝක සාහිත්‍යයේ අති විශිෂ්ට කෘතියක්. 1912 දී තමයි මේක කෆ්කා ලියුවේ. අපේ විශ්වවිද්‍යාල වගේ ආයතනවල මේ කෘති අධ්‍යයනය නොකළාට ලෝකයේ සාහිත්‍යය, නව කතාව ඉගෙනගන්න ගොඩක් දෙනෙක් මේ කෘතිය අද වෙනතුරුත් අධ්‍යයනය කරනවා. මේක එරික් ඉලයප්ආරච්චි තමයි පරිවර්තනය කළේ. තිර රචනය අපි දෙන්නත් එක්කම එකතුවෙලා කළා. මේ සේරටම වඩා වැදගත් ඇයි අපි අද මේක කරන්නේ කියන එක. කෆ්කා ඇයි මේ කෘතිය ලියුවේ. ඔහුගේ ජීවන තොරතුරත්් එක්කම අපේ අත්දැකීම් ඇතුළේ අපි මෙහි ප‍්‍රධාන චරිතය වන ග්‍රෙගරිගේ ජීවිතය නිරූපණය කළා.

අහස්ගව්ව, පාර දිගේ වගේ සිනමා කෘති ඒ කාලයේ සමාජය ගැන ඔබගේ විග‍්‍රහය. මේ අර්ථයෙන් ‘‘ස්රූප’’ කියලා කියන්නේ අද දවස ගැන ඔබගේ විග‍්‍රහයද?

අද හැම තැනම තියෙන්නේ මැටමෝපෝසිස් (Metamorphosis) කියන එක. නැත්නම් රූපාන්තරණය. මතුයම් දවස වගේම තමයි කලා කෘතියක යථාර්ථය ග‍්‍රහණය කර ගැනීම. අතීතයට වගේම අනාගතයටත් අදාළයි. හැබැයි සම්පූර්ණ යථාර්ථය කලාවට අල්ලාගන්න බැහැ. හැම වෙලාවේම කලා කෘතියකින් අනාගතය දකින්න පුළුවන්. කාල්මාක්ස් දැක්කා ධනවාදයේ ව්‍යාප්තිය. දැන් තියෙන්නේ පශ්චාත් ධනවාදී සමාජයක්. මේ සමාජය ඇතුළේ තියෙන අර්බුදය මේ කෘතිය ඇතුළේ සටහන් වෙනවා. දැන් බලනකොට අපි සේරම රූපාන්තරණය වෙලා. සළබයා නොවෙයි දැන් ඉන්නේ. දැන් ඉන්නේ සමනළයා.

සාහිත්‍ය කෘතියක් සිනමාව තුළට ගෙන ආවට පස්සේ බොහෝ දෙනෙක් නවකතාව තුළ මතුකරන අදහස සිනමාකෘතිය තුළ සොයන්නට ගිහින් අතරමං වෙනවා. ඒ වගේම අධ්‍යක්ෂවරයාට ලොකු චෝදනාවකුත් කරනවා. සාහිත්‍ය කෘතිය විනාශ කරලා කියලා. මේ ගැටලූවත් එක්ක ඔබගේ ගනුදෙනුව සිද්ධ වුණේ කොහොමද?

ඇත්තෙන්ම සාහිත්‍ය කෘතියක් සිනමාවට නැගීමේදීත් වෙන්නේ මැටමෝපෝසිස් එකක් තමයි. එතකොට ඒක තවත් කෘතියක්. මේක මාධ්‍යයන් දෙකක් එකට බැඳුණු එකක්. හරියට සළබයා සමනලයා වීම වගේ. එක ආත්මයයි. හැබැයි ශරීර දෙකක් තියෙනවා. ඉතින් මෙන්න මේ කරුණු හරියට තේරුම් ගන්න පුළුවන්නම් ඔබ ඔය කියන අතරමං වීම සිද්ධ වෙන්නේ නැහැ.

ඩිජිටල්කරණය නිසා අද සිනමාවත් පෑනක් පැන්සලක් භාවිත කරලා චිත‍්‍රයක් අදිනවා වගේ සැහැල්ලූ වෙලා. ඔබ කොහොමද මේ සැහැල්ලූව අත්විඳින්නේ. මුලින්ම කියන්න ඕනෑ ඩිජිටල්කරණය කලාවට අභියෝගයක් නොවෙයි. මම මේක විග‍්‍රහ කරන්නේ සිනමාව අතික‍්‍රමණය කිරීමක් විදිහට. සමහරුන්ට නම් සෙලියුලොයිඞ් එක නැතිවීම ගැන පොඩි නොස්ටැල්ජියාවක් තියෙනවා. ඒත් ඒක ස්වාභාවික මරණයක්. ලෝක සිනමාවට මේක සැහැල්ලූවට කරුණක් වුණාට අපිට සැහැල්ලූ නැහැ. අපි තාම චිත‍්‍රපටි කියන එක විග‍්‍රහ කර ගන්නේ 1957 චිත‍්‍රපට සංස්ථා පනතට අදාළව. මේකට අනුව ඩිජිටල් සිනමාව සිනමාවක් නොවෙයි. මේකට අනුව සිනමාව කියන්නේ මිමී 35, මිමී 16 විතරයි.

සිනමාකරුවෝ විදිහට අපි අද ලොකු ප‍්‍රශ්නයක ඉන්නවා. මේ විදිහට සිනමාව කරලා කොහොමද පෙන්වන්නේ කියලා. ලබන අවුරුද්දේ මාර්තු විතර වෙනකොට සිනමා ශාලා ඩිජිටල්කරණය කරනවා කියලා කියනවා. ඒත් තාම අපිට අදාළ ක‍්‍රමය මොකක්ද කියලාවත් හරි තීරණයක් නැහැ. සමහරු කියනවා 2කේ කියලා, තවත් කට්ටියක් කියනවා 4කේ කියලා. මේ දෙකටම වඩා පහළ තැනක තියෙන ඊ-සිනමාව හොඳයි කියන අයත් ඉන්නවා. චිත‍්‍රපට සංස්ථාව කියලා කියන්නේ පණ අදින ආයතනයක්. මේකට දැක්මක් වගකීමක් මොකුත්ම නැහැ. ඔවුන් කරන්නේ භාණ්ඩාගාරයේ සල්ලි ටික වියදම් කරන එක විතරයි. 1957 පනත වෙනස් කරලා නව පනතක් නීතිපති දෙපාර්තමේන්තුවට දැම්මා කියනවා, ඒත් ඒකට වුණ දෙයක් කවුරුවත්ම දන්නේ නැහැ. ravaya@gmail.com, කේ.සංජීව [Sunday, December 22, 2013]

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Follow Lanka Times on WordPress.com

Twitter Updates

Instagram Feed

Vehicle with green break light
sinhalaya sindiya
January 2014
S M T W T F S
« Apr   Mar »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Category

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Join 71 other followers

Tags

%d bloggers like this: