you're reading...
Uncategorized

දූෂිතයින්ට ගැලවීමක් නෑ – ජනපති


5නව පාර්ලිමේන්තුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින් කිසිඳු දූෂිතයකුට ගැලවී යාමට ඉඩ නොදෙන බව ජනපති අද අවධාරණය කළේය.
ජනපතිගේ සම්පූර්ණ කතාව පහතින්.
ගරු කථානායක තුමනි, ගරු මන්ත‍්‍රීවරුනි,
අප රටේ ඉතිහාසයේ පැවැති මහමැතිවරණ අතරින් වඩාත්ම සාමකාමී ලෙස පැවැත්වුණු මහමැතිවරණයෙන් තේරී පත් වී සටින  මෙරට නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නියමුවන් වන ඔබ වෙත  ශ‍්‍රී ලංකා ජනතාවගේ සුභාශිංසනය පිරිනමා  අභිනව පාර්ලිමේන්තුව වෙත පිළිගැනීමට ලැබීම සතුටක්.දශක පහකට ආසන්න දේශපාලන අත්දැකීම් ද ඉන් වසර 26 ක් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ද ලද පන්නරය ද සහිතව මා 2015 ජනවාරි මස 08 වැනිදා පැවති ජනාධිපතිවරණයේ දී  විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව ජයග‍්‍රහණය කළ අවස්ථාවේදී  මා හට  ඡුන්දය දුන් නොදුන් සහෝදර රටවැසි ජනතාවට මාගේ ස්තුතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.

ගරු මන්ත‍්‍රීවරුනි,

 මෙලෙස   ඔබ ඉදිරියෙහි කරන මගේ මෙම ප‍්‍රකාශය මගින් පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙහි තවත් එක් සම්ප‍්‍රදායක් නැවත තහවුරු කෙරෙනවා     බි‍්‍රතාන්‍ය සම්ප‍්‍රදායට අනුව රාජාසන කථාව ලෙස ද ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අනුව සමාරම්භක දේශනය ලෙස ද හැඳින්වෙන මෙම මූලාසන ප‍්‍රකාශයේ අරමුණ වන්නේ අභිනව ආණ්ඩුවේ නිල ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සංක්ෂිප්තව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි.
මට පෙනෙන ආකාරයට ජනතාව වෙනුවෙන් නීති සම්පාදනය කරන මහජන නියෝජිතයින් වන ඔබ ඉදිරියේ   මින් පෙර පැවති කිසිදු පාර්ලිමේන්තුවක් හෝ එහි නියෝජිතයින් මුහුණ නොදුන් ආකාරයේ අභියෝග ගණනාවක් ගොඩ නැගෙමින් පවතිනවා  ඔබ දන්නවා, මේ වන විටත්  මිලියන ගණනක් ශී‍්‍ර ලාංකික ජනතාව සිය අත්ල මතට ලෝකයම සම්බන්ධ කළ හැකි නවීන තාක්ෂණික උපකරණ භාවිතා කරනවා   ඒ වගේම  අප ගල් ලෑලි ගෙන පෙර පාසල් ගියා මෙන්   අපේ දරු මුණුපුරන් ලැප්ටොප් පරිගණකයෙන් ද එහා ගිය අයිපෑඞ් එකක් රැුගෙන පෙර පාසල්  යන දිනය  මෙම පාර්ලිමේන්තුවේ ධුර කාලය නිම වීමට පෙර උදා විය හැකිව තිබෙනවා  මේ රටේ නීති සම්පාදකයන් ලෙස ජනතාව ඔබ සියලූ දෙනා තෝරාගෙන ඇත්තේ  මෙවන් පරිවර්තනීය යුගයක දී බව ඔබේ අවධානයට යොමු කිරීමට මම කැමැතියි ඒ අනුව ශ‍්‍රී ලාංකික ජාතිය වශයෙන් අප එකට බැඳ තබන අපගේ සංස්කෘතික හර පද්ධතිය එලෙස ම රැුක ගනිමින්  උදා වන ඒ නව යුගය වෙනුවෙනුත් ඒ නව පරම්පරාවේ අභිලාශයන් වෙනුවෙනුත් අනාගතවාදී ලෙස මේ රට ගොඩනැගීමේ අභියෝගය අප සියලූ දෙනා හමුවේ තිබෙනවා.
අප රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මා පළමුව යමක් අවධාරණය කළ යුතුයි ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ත‍්‍රිවිධ හමුදාවේ සේනාධිනායකයා ද ආරක්ෂක ඇමතිවරයා ද වශයෙන්  මම මේ රටේ ජාතික ආරක්ෂාව සහ ඒකාග‍්‍රතාව සම්බන්ධ පූර්ණ වගකීම දරනවා ඒ වගකීම මා නොපිරිහෙලා ඉටු කරන බවත්   එම කාර්යයේදී ඔබේ පූර්ණ සහයෝගය සහ කැපවීම  වෙනත් කිසිදු කරුණක් හමුවේ දෙවැනි කොට නොසලකා මා හට ලබා දෙන ලෙසත්  උදක්ම ඉල්ලා සිටිනවා.
අදින් ඇරඹෙන පාර්ලිමේන්තුව ශී‍්‍ර ලංකා දේශපාලන ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව මගේ හැඟීමයි. නිදහසින් පසුව  අද වන තුරුත් අප සතුව පැවතියේ එක් ප‍්‍රධාන පක්ෂයක් වටා අනෙකුත් කුඩා පක්ෂ එක් වී ගොඩ නගා ගත් සභාග ආණ්ඩු පිළිබඳ අත්දැකීම පමණයි. එහෙත්  ජාතික අර්බුද හමුවේ රටේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ තම දේශපාලන එදිරිවාදිකම් පසෙක දමා සම්මුතිවාදී සන්ධාන රජයන් පිහිටුවා ගැනීම පිළිබඳ ආදර්ශ ලෝකයේ විවිධ රටවලින් හමු වෙනවා. වර්ණ භේදවාදය නිල වශයෙන් අවසන් කළ වහාම  දකුණු අපි‍්‍රකාවේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ වාර්ගික බෙදීම් මුලිනුපුටා දැමීමත්  රටට වේගවත් සංවර්ධනයක් ළඟා කර ගැනීමත් අරමුණු කර ගත්/ සම්මුති සන්ධාන රජයක් ගොඩ නැගුවා. ශ‍්‍රී ලංකාව හමුවේ ඇති ජාතික සහ ජාත්‍යන්තර අභියෝගවලට සාමූහිකව මුහුණ දීම සඳහ මෙවැනි ම සම්මුතිවාදී සන්ධාන රජයක් අප රටේ ගොඩ නගා ගත යුතුව තිබූ ස්වර්ණමය අවස්ථාව වූයේ  ශ‍්‍රී ලංකාව පශ්චාත් යුද සමයක් වෙත පිය නැගූ පළමු මොහොත වූ බව මා තරයේ විශ්වාස කරනවා.
එහෙත් දශක තුනක් පුරා අඛණ්ඩව පැවති යුදමය වාතාරණය තුළ රාජ්‍ය පාලනය මෙහෙයවූ අප රටේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකට අවි නොගැටෙන සාමකාමී ශ‍්‍රී ලංකාව පූර්ණ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවක් තුළ පාලනය කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව තිබූ අඩු අත්දැකීම් හේතුවෙන් එදිරිවාදී දේශපාලනය වෙනුවට සම්මුතිවාදී දේශපාලනය රට තුළ ස්ථාපනය කිරීමට සමත්, ප‍්‍රධාන පක්ෂ දෙකෙහි එකතුවෙන් ගොඩ නැගෙන සම්මුති-සන්ධාන රජයක් පිහිටුවා ගන්නට අපි අපොහොසත් වුණා.
ජාතික ආණ්ඩු සංකල්පය මත පදනම් ව, රටේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ සාමූහිකත්වයෙන් ගොඩ නැගෙන සම්මුතිවාදී සන්ධානයේ ප‍්‍රධාන කාර්යය වන්නේ සියලූ ජනකොටස් අතර සංහිඳියාව ගොඩ නැගීමත්, සමාජ-ආර්ථික සංවර්ධනයත් එක්වර සාක්ෂාත් කර ගනිමින් 2020 දී උදා වන නව ලෝකයටත් ඉන් ඔබ්බෙහි ඇති ජාතික සහ ජාත්‍යන්තර අභියෝගයන්ටත්  එකසේ සාර්ථකව මුහුණ  දිය හැකි උසස් මානව සංවර්ධනයක් කරා මේ රට රැගෙන යාමයි.
විශේෂයෙන් ම, අපේ රට දශක තුනක් පුරා යුද්ධයක පැටලී සිටියදී, ආසියාවේ අප වැනිම ඉතිහාසයක් හිමිව තිබූ රටවල් මෙන්ම අපටත් වඩා දුර්වල සමාජ-ආර්ථික තත්ත්වයක පැවති ඇතැම් රටවල් එම කාලය තුළ වේගවත් සංවර්ධනයක් අත් කරගෙන තිබෙනවා. එම නිසා ඒ රටවල් සහ අපේ රට අතර විශාල සංවර්ධන පරතරයක් ගොඩනැගී තිබෙන බව අප අමතක කළ යුතු නෑ. මෙම සංවර්ධන පරතරය අවම කර ගැනීමේ අභියෝගය ජය ගැනීමේ මූලික ක‍්‍රමෝපායක් ලෙස ප‍්‍රමාද වී හෝ ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙහි සුසංයෝගයෙන් සම්මුති සන්ධාන රජයක් ගොඩ නැගීමේ අවශ්‍යතාව මා දුටුවා. මා 2015 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ, මෛත‍්‍රී පාලනයක් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ පැහැදිලිව දක්වා ඇති පරිදි, ජාතික සම්මුති-සන්ධාන රජයක් පිහිටුවීමට මා මූලිකත්වය ගැනීමට කටයුතු කළේ මේ අවශ්‍යතාව නොපමාව ඉටු කිරීමේ අභිලාශයෙන්. මෙම පාර්ලිමේන්තුව දෙවසරක් සඳහා සම්මුති සන්ධාන රජයක් ගොඩ නගන්නේ එම ජාතික අවශ්‍යතාව ඉටු කිරීම සඳහා යි. එය මේ රටේ නව දියුණු දේශපාලන සංස්කෘතියක ආරම්භය බව මා විශ්වාස කරනවා.
එලෙස මෙම පාර්ලිමේන්තුව තුළින් බිහි වන සම්මුති-සන්ධාන රජයේ න්‍යාය පත‍්‍රය සැකසීමේදී, පසුගිය ජනාධිපතිවරණයට මවිසින් ඉදිරිපත් කළ, මේ රටේ බහුතර ජනතාවගේ අනුමැතියට පාත‍්‍ර වූ මෛත‍්‍රී පාලනයක් – ස්ථාවර රටක් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය මූලික පදනම වශයෙන් පවතිනවා. එසේම, පසුගිය අගෝස්තු 17 වැනිදා පැවති මහමැතිවරණය වෙනුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන ප‍්‍රධාන දේශපාලන පක්ෂ වන යහ පාලනය සඳහා වන එක්සත් ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කළ  ”පංචවිධ ක‍්‍රියාවලිය” ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ද  එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරිපත් කළ  ”අනාගතයට සහතිකයක්” ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ද ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ ”හෘදසාක්ෂියේ සම්මුතිය” සහ  දෙමළ ජාතික සන්ධානයෙහි මැතිවරණ ප‍්‍රකාශනය ද  මාගේ ”මෛත‍්‍රී පාලනයක් – ස්ථාවර රටක්” ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ඉදිරිපත් කර ඇති යහපාලන මූලධර්ම මුල් කොට ගත් ප‍්‍රතිපත්ති රාමුව සමග දැනටමත් සන්සන්දනාත්මක අධ්‍යයනයකට ලක් කොට තිබෙනවා. ඒ අනුව, මාගේ ”මෛත‍්‍රී පාලනයක් – ස්ථාවර රටක්”  ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය මගින් හඳුනාගෙන ඇති අනාගතවාදී දැක්ම සමග සමගාමී සහ ඊට අනුකූූල ප‍්‍රතිපත්ති යෝජනා සම්පිණ්ඩනය කොට නව සම්මුතිවාදී සන්ධාන රජයේ ප‍්‍රතිපත්ති සම්පාදනය ඒ ඇසුරින් සිදු කිරීමට මම කටයුතු කරනවා.
ගරු කථානායකතුමනි,
යම් රටක් හෝ ජාතියක් ස්වකීය අනන්‍යතාවේ පදනම වශයෙන් සලකන්නේ එරටෙහි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ජාතියේ උත්තරීතර ලේඛනය ලෙස අප සලකන්නේ ඒ හේතුවෙන්. නිදහසේ සිට ගෙවුණු වසර 60ක කාලය තුළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා තුනක් අපි ක‍්‍රියාවට නංවා තිබෙනවා. එහෙත් අද වන තෙක් අපට ශ‍්‍රී ලාංකික ජාතියෙහි පදනම ලෙස සියලූ දෙනාට එකඟ විය හැකි ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට නොහැකි වීම අභාග්‍යයක්. විශේෂයෙන් ම, අද අප රටේ ක‍්‍රියාත්මක වන 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත වූ දිනයේ පටන් ම එහි පදනම වන විධායක ජනාධිපති ධුරය සහ මැතිවරණ ක‍්‍රමය පිළිබඳව බොහෝ පාර්ශවයන්ගේ මැසිවිලි සහ විරෝධතා එල්ල වෙමින් පවතිනවා. ”මෛත‍්‍රී පාලනයක් – ස්ථාවර රටක්” ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය තුළ මා ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එක් වූ 19 ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම මාගේ මැතිවරණ ප‍්‍රකාශනයේ එක් ප‍්‍රධාන පොරොන්දුවක් ඉටු කිරීමක්. විධායක ජනාධිපති ක‍්‍රමය තව දුරටත් පැවතිය යුතුද, එසේ නම් එහි ස්වභාවය කෙසේ විය යුතුද යන්න පිළිබඳ අවසන් නිගමනය ගැනීම ඔබ අසුන් ගෙන සිටින මේ පාර්ලිමේන්තුවේ වගකීමක්. මාගේ තවත් ප‍්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වූයේ දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ ජනතා අප‍්‍රසාදයට සහ පිළිකුළට ලක්ව තිබෙන සමානුපාතික ඡුන්ද ක‍්‍රමය තුළ අන්තර්ගත අවාසිදායක සහ නුසුදුසු ලක්ෂණත් ඊට අනුබද්ධ මනාප ඡුන්ද ක‍්‍රමයත් වෙනස් කිරීමයි. පසුගිය පාර්ලිමේන්තුවේ ධුර කාලයේ අග භාගයේදී මා ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක‍්‍රම සංශෝධන යෝජනාව මගින් ඊට අවශ්‍ය මූලික පදනම මේ වන විටත් සපයා ඇති බව ඔබ දන්නවා. ඒ අනුව,සියලූ දේශපාලන පක්ෂවලට මෙන් ම සිවිල් සමාජයට ද එකඟ විය හැකි වඩාත්ම සුදුසු මැතිවරණ ක‍්‍රමය සම්පාදනය කොට සම්මත කිරීමේ ඓතිහාසික කාර්යභාරය ද ඔබ අසුන්ගෙන සිටින මෙම පාර්ලිමේන්තුවට පැවරෙනවා.
පශ්චාත් යුදමය ශ‍්‍රී ලාංකාව තුළ, සංහිඳියාව, සහජීවනය සහ සංවර්ධනය අරමුණු කර ගත් අභිමානවත් ශ‍්‍රී ලාංකික ජාතියක් ලෙස නැගී සිටීමට නම් අප විසින් අවශ්‍යයෙන්ම ගත යුතුව තිබූ, එහෙත් අපට මෙතෙක් ගැනීමට නොහැකි වුණු දේශපාලන තීන්දු, තීරණ සහ ප‍්‍රතිසංස්කරණ සම්පාදනය කිරීමේ වගකීම පැවරෙන්නේත් ජනතා නියෝජිතයින් වශයෙන් ඔබ අසුන්ගෙන සිටින මෙම පාර්ලිමේන්තුවටයි. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සහ ආදීවාසී ජනයා ද ඇතුලූ සියලූ ජන කොටස්වල සංහිඳියාවෙන් ද බෞද්ධ, හින්දු, ඉස්ලාම්, සහ ක‍්‍රිස්තියානි ආගමික කණ්ඩායම් අතර සහජීවනයෙන් ද සමන්විත වන නූතන ශ‍්‍රී ලාංකීය ජාතිය ගොඩනැගීමේ මෙහෙවරෙහි කොටස්කරුවන් බවට ඔබ අද පත්ව සිටිනවා. එම කාර්යයේදී ජනාධිපතිවරයා වශයෙන් මා විසින් ලබා දිය යුතු නායකත්වය,  මග පෙන්වීම සහ සහයෝගය නොපමාව ලබා දීමට මම කැප වී සිටිනවා. එම දේශපාලන ගමන් මගේ දී, ප‍්‍රබුද්ධ, ප‍්‍රශස්ත ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතියක් ලෙස ශ‍්‍රී ලංකාව ඔසවා තැබීම මෙම පාර්ලිමේන්තුවේ වගකීමක් වන බව මම අවධාරණය කරනවා.
ගරු කථානායකතුමනි,
අප රට සතු වටිනාම සම්පත අපේ මානව සම්පතයි. මානව සම්පත අද්විතීය ලෙස සංවර්ධනය කිරීම අප රටේ සංවර්ධන ක‍්‍රියාවලියේ පදනම බව මගේ විශ්වාසයයි. නූතන ලෝකය විශාල වශයෙන් තාක්ෂණික ජයග‍්‍රහණ ලබා ගනිමින් සිටින වාතාවරණයක් තුළ යම් රටකට මධ්‍ය ආදායම් මට්ටමින් ඔබ්බට ගමන් කළ හැක්කේ සිය රටේ පුහුණු ශ‍්‍රමය සුලභ කිරීමෙන් පමණයි. එබැවින්, ජාතික සහ ජාත්‍යන්තර ශ‍්‍රම වෙළඳපොළේ  ඕනෑම අවශ්‍යතාවකට ගැලපෙන පරිදි ශ‍්‍රී ලාංකීය ශ‍්‍රම බලකාය සවිබල ගැන්වීම හෙවත් නිපුණතා සංවර්ධනය මගේ රජයේ ප‍්‍රමුඛතාවක් සේ සලකනවා.
21 වන සියවස යනු ආසියාවේ සියවස බව මා ඔබට සිහිපත් කළ යුතුයි. ලෝක ආර්ථිකයේ කේන්ද්‍රය ලෙස ආසියාව නැගී සිටින සන්දර්භයක්  තුළ උත්පාදනය වන ආර්ථික ඉඩ ප‍්‍රස්ථාවන්ගෙන් උපරිම ප‍්‍රතිලාභ ලබා ගත හැකි වන ආකාරයේ භූ-දේශපාලනික පිහිටීමක් අප රටට ස්වභාවිකවම හිමිව තිබීහ අපගේ භාග්‍යයක් බව කිව යුතුයි. මෙලෙස,ස්වභාව ධර්මය විසින් ම අප වෙත ලබා දී ඇති මෙම මගඟු අවස්ථාවෙන් උපරිම ප‍්‍රතිලාභ ලබා ගත හැකි වන පරිදි අපගේ ඉදිරි ආර්ථික ප‍්‍රතිපත්ති, සැලසුම් සහ උපායමාර්ග සැකසීම අප සැමගේ මූලික වගකීමක් වෙනවා.
අපේ ආර්ථික සැලසුම් සැකසීමේ ක‍්‍රියාවලියේ දී කාලාන්තරයක් තිස්සේ අවධානයට ලක් නොවුණු වැදගත් ක්ෂේත‍්‍ර සහ ඒ හා සම්බන්ධ ගැටලූ ගණනාවක් තිබෙනවා. ස්වයං-රැකියා සහ කුඩා පරිමාණ ව්‍යවසාය මූලික කොටගත් අවිධිමත් ආර්ථිකය ඒ අතරින් ප‍්‍රධාන වෙනවා. අප රටේ ජාතික ආර්ථිකයට අවිධිමත් ආර්ථික ක්ෂේත‍්‍රයෙන් ලැබෙන දායකත්වය සැලකූ විට, එම ක්ෂේත‍්‍රය කෙරෙහි මීට වඩා වැඩි රාජ්‍ය අවධානයක් සහ සාධනීය අත දීමක් අවශ්‍ය වෙනවා.
ස්ථිර ආදයම් නොලබන සුලූ පරිමාණ ව්‍යවසායකයින් සහ ගොවි ජනතාව වෙත ක්ෂුද්‍ර ණය සහ මූල්‍ය කලමණාකරණය පිළිබඳ මූලික අවබෝධයක් ලබා දීම මගින් ග‍්‍රාමීය ආර්ථිකයට අත් වැලක් සැපයීමට මගේ රජය කටයුතු කරනු ඇති.
යහපාලන මූලධර්ම පෙරටු කර ගත් ”මෛත‍්‍රී පාලනයක්” ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය අනුමත කරමින් මා වෙත බහුතර ජනතාව ලබා දුන් ජනවරමෙහි එක් මූලික අපේක්ෂාවක් වූයේ දූෂණය පිටුදැකීම සහ රාජ්‍ය දේපොළ සුරැකීමයි.එබැවින් දූෂණය, වංචාව සහ නාස්තිය පිටු දැකීමට ඇති කැපවීම මගේ රජයේ මූලික ප‍්‍රතිපත්තියක් වෙනවා. දූෂණය මර්ධනය කිරීම සඳහා දැනට පවත්නා ආයතනික ව්‍යුහය තව දුරටත් ශක්තිමත් කිරීමටත්, රාජ්‍ය දේපොළ අවභාවිත කළ බවට චෝදනා ලබා ඇති පුද්ගලයින්ගේ තරාතිරම නොබලා ඔවුන්ව කිසිදු පක්ෂග‍්‍රාහීත්වයකින් තොරව අධිකරණය ඉදිරියට පැමිණවීමටත් මම පසුබට වන්නේ නෑ.
අද අපේ රට මධ්‍ය ආදයම් ලබන රටක් බව ඔබ දන්නවා.අපගේ ඉලක්කය විය යුත්තේ මෙම පාර්ලිමේන්තු ධුර කාලය තුළ ඒ ආදායම සැලකිය යුතු ලෙස ඉහළ නංවාලීමට ඉවහල් වන මූලික ආර්ථික උපායමාර්ග ඛඩිනමින් සහ සාර්ථකව දියත් කිරීමයි.
එහෙත් දියුණුවේ ප‍්‍රතිලාභ රටේ ඉතා ධනවත් සුලූතරයක් පමණක් අත් විඳිනා විට, අති මහත් බහුතරයක් දිළිඳු බවෙහි අගාධයට ඇද වැටෙනවා නම් ශ‍්‍රී ලංකාව ආර්ථික වශයෙන් සාර්ථක වූ රටක් යැයි හැඳින්වීමට අපට හැකි වන්නේ නෑ. එබැවින් ඒකපුද්ගල ආදායම ඉහළ නංවාලන අතරම ආදායම් බෙදී යාමේ විෂමතාව අවම කිරීම මගින් රටේ මධ්‍යම පන්තිය තව දුරටත් පුලූල් කිරලීමට කටයුතු කළ යුතුව තිබෙනවා.
එමෙන්ම, සංවර්ධනය අපේ රටේ සෑම තැනකටම එක සේ ගලා යාමට සැලැස්වීම මගේ රජයේ වගකීමක්. විශේෂයෙන් ම, යුද්ධයේ ඍජු ගොදුරු බවට පත් වූ උතුරු නැගෙනහිර මෙන් ම මායිම් ගම්මාන ලෙස හැඳින්වුණු ප‍්‍රදේශ වෙත ද රටේ අනෙකුත් ප‍්‍රදේශ වල පිහිටා ඇති දුෂ්කර ගම්මාන වෙත ද සංවර්ධනයේ අරුණලූ උදා කොට, සංවර්ධනය රට පුරා සමානව දියත් කිරීමේ වගකීම මගේ රජය භාර ගෙන තිබෙනවා.
ලෝකයේ බොහෝ කාර්මික රටවල් වේගවත් ආර්ථික වර්ධනයක් අත් කර ගෙන ඇත්තේ සමස්ත මානව වර්ගයාට ම අහිතකර ලෙස බලපාන අන්දමේ විශාල පාරිසරික හානියක් සිදු කරමින්. එහෙත් මේ වන විට ඔවුන් ගිය ගමනේ අහිතකර ප‍්‍රතිඵල හඳුනා ගෙන ඇති ඒ රටවල් කාර්මික ආර්ථිකයන්ගේ සිට දැනුම් පාදක ආර්ථිකය, නවෝත්පාදන ආර්ථිකය, හරිත ආර්ථිකය සහ තිරසාර සංවර්ධනය වැනි සංකල්ප වෙත නැඹුරු වෙමින් සිටිනවා. මා මෙහිදී අවධාරණය කරනවා ශ‍්‍රී ලංකාව මානව සංවර්ධන ඉලක්ක සහ සමාජ-ආර්ථික අභිවෘද්ධිය කරා ළඟා වන ගමනේ දී, අප රට ලෝකයේ සුන්දරතම රටක් බවට පත් කරන, නිල්ල පිරුණු පරිසරයට, සදා හරිත වනාන්තර පද්ධතියට, හෝ වන ජීවී සංහතියට කිසිදු ආකාරයක හානියක් සිදු නොවිය යුතු බව. ඒ මග යාමට, අප අනුගමනය කළ යුත්තේ ”සන්තුෂ්ඨි පරමං ධනං” යැයි බදුන් වහන්සේ විසින් සම්පිණ්ඩනය කොට වදාළ බෞද්ධ ආර්ථික සිද්ධාන්තය බව මා විශ්වාස කරනවා. සොබා දහමට එරෙහිව ගොස් ස්ථිරසාර සංවර්ධනයක් අත් කර ගත නොහැකි බව ලෝකය දැන් අවබෝධ කර ගනිමින් සිටිනවා.වසර 2500ක් තිස්සේ අපේ රට පෝෂණය කරන බෞද්ධ දර්ශනය සොබා දහම සමග, ඊට අනුගතව, මධ්‍යම ප‍්‍රතිපදාව අනුගමනය කරමින් සන්තුෂ්ටිය සහ සෞභාග්‍යය අත් කර ගත හැකි ආකාරය අපට පෙන්වා දෙනවා. නූතන යුගයට පිවිසීමේදී, අප රට සතු බෞද්ධ ආර්ථික දැක්ම විශාල සම්පතක් සහ භාග්‍යයක් සේ මා සලකනවා. අප මේ රට අපේ දරුවන්ට දායාද කළ යුතු වන්නේ, ලොව වැඩිම භාණ්ඩ හා සේවාවන් ප‍්‍රමාණයක් පරිභෝජනය කරන රටක් ලෙස නොව, අවම පරිභෝජනකින් උපරිම තෘප්තිමත් භාවය ලබා ගැනීමට සමත්, සෞභාග්‍යමත් සහ සංසිඳුණු ජනතාවක් සිටින රටක් ලෙස නොවේද?
ගරු කථානායකතුමනි, අප ජීවත් වන්නේ ගෝලීයකරණය වූ නව ලෝක රටාවක් තුළයි. එහිදී, ලොව සෑම රටක් ම අපට වැදගත්. ඔවුන්ගෙන් අපටත් අපගෙන් ඔවුන්ටත් ඉගෙනීමට බොහෝ දේ තිබෙනවා. එබැවින්,  විවෘත භාවයත් මිත‍්‍රශීලී භාවයත් අපේ විදේශ ප‍්‍රතිපත්තියේ පදනම වශයෙන් පවතිනු ඇති. අප මේ එළඹ සිටින්නේ ආසියාවේ සියවසට බව මා කලින් ද ප‍්‍රකාශ කළා. ඒ අනුව, මෙතැන් සිට මාගේ රජය, ආසියානු කේන්ද්‍රීය, මැද මාවතේ විදේශ ප‍්‍රතිපත්තියක් වෙත වැඩි අවධානයක් යොමු කරන බව මම ප‍්‍රකාශ කරනවා.
මා විශ්වාස කරන්නේ, පසුගිය වසර කිහිපය පුරා, අප රටේ විදේශ ප‍්‍රතිපත්තියේ වැඩි ඉඩ කඩක් ජිනීවා යන වචනයට වෙන් වී තිබුණු බවයි. මා ජනාධිපතිවරයා ලෙස පසුගිය ජනවාරි 08 වැනිදා දිවුරුම් දුන් මොහොතේ සිට, අප කෙරෙහි පැවති ජාත්‍යන්තර ආකල්පය ඉතා යහපත් ලෙස වෙනස් වෙමින් පවතිනවා. මෙවැනි සංකීර්ණ තත්ත්වයකට සාර්ථකව මුහුණ දීමේදී ජාත්‍යන්තර ප‍්‍රජාවගේ විශ්වාසය, සම්මුතිය සහ සහයෝගය ඉතා වැදගත් වෙනවා. මා ඉතා සතුටින් ප‍්‍රකාශ කිරීමට කැමතියි, පසුගිය මාස හතක කාලය තුළ, මෙතෙක් පැවති තත්ත්වය අප රටට වාසිදායක ලෙසත්, රටේ අභිමානය සහ කීර්ති නාමය වර්ධනය වන පරිදිත් වෙනස් කර ගැනීමට මාගේ ආණ්ඩුව සමත් වූ බව.
අතීතයේ දී ”පෙරදිග ධාන්‍යාගාරය” ලෙස විරුදාවලි ලද අපේ රට අද වන විට, අපට මෙරටින් ම සපයා ගත හැකි ආහාර පවා ආනයනය කිරීමට පෙළඹී තිබීම කණගාටුදායක තත්ත්වයක්. ගෙවත්තෙන් සපයා ගත හැකි දේ සඳහා වෙළඳපොළට යාමත්, ප‍්‍රදේශයේ වැවෙන දේ සඳහා දුර බැහැර යාමත්, මෙරට වැවෙන දේ ලබා ගැනීමට විදෙස් රටවල් වෙත යාමත් මගේ රජයේ කෘෂිකාර්මික ප‍්‍රතිපත්තිය නොවෙයි. ඒ වෙනුවට ගෙවත්ත, ගම, සහ රට කේන්ද්‍ර කොට ගත්, ජාතික ආහාර ප‍්‍රතිපත්තියක් සම්පාදනය කිරීම දැනටමත් මවිසින් ආරම්භ කොට තිබෙනවා. සැබවින්ම, මා කෘෂිකර්ම ඇමතිවරයාව සිටියදී දියත් කළ ”අපි වවමු-රට නගමු” වැඩසටහනේ මූලික අභිප‍්‍රාය වූයේ ද, මෙලෙස දේශීය ආහාර නිෂ්පාදනය ප‍්‍රවර්ධනය කිරීමයි.
රටේ අනාගතයට ස්ථිරසාර පදනමක් සැපයීමට නම් කෘෂිකාර්මික සංවර්ධනය අත්‍යවශ්‍ය සාධකයක් බව මින් දශක හයකට පෙර දැක, මහා පරිමාණ ගොවි ජනපද පිහිටුවීමට කටයුතු කළ මහාමාන්‍ය ඞී. එස්. සේනානායක ශ‍්‍රීමතාණන්ගේ කෘෂිකාර්මික දර්ශනය මා මේ අවස්ථාවේදී ගෞරවයෙන් සිහිපත් කරනවා.
වී වගාව ප‍්‍රමුඛ, කෘෂි නිෂ්පාදන ප‍්‍රවර්ධනය මගින් සෞඛ්‍ය සම්පන්න ආහාර දේශීය වශයෙන් නිෂ්පාදනය කර ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීම මගේ රජයේ මූලික ඉලක්කයක්. ඒ අනුව, මොරගහකන්ද කලූගඟ වැනි ජලාශ තනා පානීය සහ කෘෂිකාර්මික ජල සම්පාදන අවශ්‍යතා සපුරාලීමටත්, කෘෂිකර්මය සහ පශු සම්පත් ආශ‍්‍රිත නිෂ්පාදන ක්ෂේත‍්‍ර තුළට නවීන තාක්ෂණය හඳුන්වා දීමටත් මාගේ රජය කටුයතු කරනු ඇති. එමෙන් ම, රටේ ජීවනාලිය බඳු ගොවි ජනතාව මුහුණ පා සිටින වකුගඩු රෝග උවදුර මැඩ පැවැත්වීම පිණිිස ජාතික වැඩපිළිවෙළක් දියත් කිරීමට මා පියවර ගෙන තිබෙනවා.
කරදිය ධීවර කර්මාන්තය මෙන් ම මිරිදිය ධීවර කර්මාන්තය තව දුරටත් ප‍්‍රවර්ධනය කිරීම මගින් රටේ දැනට පවත්නා ප්‍රෝටීන් පෝෂණ ඌනතාව මැඩලීමට කටයුතු කරනවා. විශේෂයෙන්ම, දූපත් රාජ්‍යයක වෙසෙන අපි සාගර සම්පතින් නිසි ප‍්‍රතිලාභ ලබා ගැනීමට අප‍්‍රමාදව කටයුතු කළ යුතු වෙනවා. ශ‍්‍රී ලංකාවේ භූමි ප‍්‍රදේශය මෙන් අට ගුණයක් විශාල අප සතු සමුද්‍ර ප‍්‍රදේශය, ධීවර කර්මාන්තයට පමණක් සීමා කර ගත යුතු නෑ. ඒ අනුව, සාගර විද්‍යාව දැනට වඩා ප‍්‍රායෝගිකව සහ පුළුල්ව අප රටේ සංවර්ධනයට දායක කර ගැනීමට මගේ රජය කටයුතු කරනු ඇති.
වර්තමාන ලෝක රටාව තුළ, රජයකට රටේ ජනතාවගේ සියලූ අවශ්‍යතා සියල්ල ඉටු කළ  නොහැකි  බව ඔබ දන්නවා. එබැවින්, ජනතා අවශ්‍යතා සපුරාලිය හැකි පරිදි රාජ්‍ය අංශයත්, පෞද්ගලික අංශයත්, සිවිල් සමාජයත් එක සේ ශක්තිමත් කළ යුතු වෙනවා. පෞද්ගලික අංශය නගා සිටුවීමේ දී දේශීය කර්මාන්තවලට වැඩි වරප‍්‍රසාද ලබා දීම අවශ්‍යයි. එමෙන් ම, පෞද්ගලික අංශය වෙත දේශීය සහ විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය දිරි ගැන්වීම් සහ සහන ලබා දීමට මගේ රජය කටයුතු කරනවා. මේ හැරුණු විට, පෞද්ගලික අංශයේ සේවකයින් හට වරප‍්‍රසාද සහ සහන ලබා දීම පිළිබඳව මගේ රජයේ අවධානය යොමු වී තිබෙනවා.
විශේෂයෙන්ම, රාජ්‍ය අංශයේ වැඩි දායකත්වයක් සහිත නිදහස් සෞඛ්‍ය සේවය, නිදහස් අධ්‍යාපනය සහ පොදු ප‍්‍රවාහනය වැනි, සමස්ත ජනතාවට ම ප‍්‍රතිලාභ ලබා දෙන අංශ මීටත් වඩා ප‍්‍රශස්ත සහ ගුණාත්මක ලෙස ඉහළ නැංවීමට කටයුතු කරනවා. එහිදී, රාජ්‍ය සේවයේ ගුණාත්මක බව සහ කාර්යක්ෂමතාව වර්ධනය කිරීමට අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ නොපමාව හඳුන්වා දීමටත් මගේ රජය වැඩි අවධානයක් යොමු කරනු ඇති. ඒ අනුව, රාජ්‍ය ආයතන තුළ උපදේශක සභා පිහිටුවා ඒවා නියමාකාරයෙන් ක‍්‍රියාත්මක කරවීමටත්, රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා තව දුරටත් අවම කිරීමටත්, කුසලතා පාදක බඳවා ගැනීම් සහ උසස්වීම් ක‍්‍රමවේදයක් හඳුන්වා දීමටත්, සමස්ත රාජ්‍ය සේවය පිළිබඳව රජ්‍ය සේවකයාගේ මෙන්ම පොදු මහජනතාව තුළ ද දෘෂ්ටිමය සහ ආකල්පමය වෙනසක් ඇති කිරීමටත් මගේ රජය පියවර ගනු ඇති. මා ඉහත පැවසූ සියල්ල යථාර්ථයක් බවට පත් කරවීමට නම්, ඇමති වරයාගෙන් ඇමතිවරයාට, ආණ්ඩුවෙන් ආණ්ඩුවට හෝ ජනාධිපතිවරයාගෙන් ජනාධිපතිවරයාට අනුව වෙනස් නොවන ජාතික ප‍්‍රතිපත්ති ස්ථාපනය කිරීමට මගේ රජය කටයුතු කරනු ඇති.
තරුණයා සහ තාරුණ්‍යය පිළිබඳව අපි බොහෝ දේ කථා කර තිබුණත් ජාතියක් වශයෙන් අපි ඔවුන් වෙනුවෙන් ඉටු කර ඇති දේ ඉතා අල්ප බවට මේ රටේ පුපුරා ගිය තරුණ කැරලි සාක්ෂි දරනවා. ඒ ගැටුම්වලින් දහස් ගණනක් අමිල තරුණ ජීවිත අප රටට අහිමි වුණා. 1990 තරුණ අසහන කොමිසම් වාර්තාවේ නිර්දේශ අදටත් ක‍්‍රියාත්මව වී ඇත්තේ අල්ප වශයෙන්. මගේ රජය, එම වාර්තාවේ නිර්දේශ යළි සලකා බලා අද යුගයට ගැලපෙන පරිදි ක‍්‍රියාත්මක වැඩ පිළිවෙළක් බවට පත් කිරීමට කටයුතු කරනවා. ඒ යටතේ, රැුකියා ලබා දීමේදී හෝ වෙනත් රාජ්‍ය මැදිහත්වීම අවශ්‍ය කටයතුවලදී කිසිදු දේශපාලන ඇඟිලි ගැසීමකට මාගේ රජය ඉඩ තබන්නේ නැති බව මම අවධාරණය කරනවා.
පහසුවෙන් උවදුරට ලක්විය හැකි සමාජ කණ්ඩායම් කෙරෙහි අප වැඩි අවධානයක් දැක්විය යුතු වෙනවා. කාන්තාවන්, ළමුන්, වයස්ගත ජනගහනය සහ යම් යම් ආබාධයන්ට ලක්ව සිටින පුද්ගලයින් ඒ අතුරින් ප‍්‍රධාන තැනක් ගන්නවා. ලාංකීය ජනතාවගෙන් හරි අඩකට වඩා වන කාන්තාවන් ජාතික ආර්ථිකයටත් සමාජයේ යහ පැවැත්මටත් ඉතා ඉහළ දායකත්වයක් ලබා දෙනවා. මගේ රජයේ සියලූ සංවර්ධන උපාය මාර්ගයන් තුළ ප‍්‍රමුඛ අවධානයක් ඔවුන්ගේ යහපත සහ සුභසිද්ධිය වෙනුවෙන් යොමු කෙරෙනවා.
දරුවන් රටේ අනාගතයයි. ඔවුන් හට වඩාත් යහපත් හෙට දිනයක් උරුම කර දීමටත්, ඔවුන්ගේ ආරක්ෂාව සැලසීමටත්,  මගේ රජයේ මූලික අවධානය යොමු වන බව කිව යුතුයි.
විවිධ ආබාධ සහිත පුද්ගලයින් රැසක් අප අතර සිටිනවා. ඔවුන්ව රැක ගැනීමේ වගකීම නොපිරිහෙලා ඉටු කරමින් ඔවුන් හට ලබා දීමට යෝජනා වී ඇති මාසික ආධාර මුදල් අපහසුවක් නොවන පරිදි, සහ ඔවුන්ගේ අභිමානය රැකෙන පරිදි, දැනට පවතින දැඩි රෙගුලාසි හැකිතාක් ලිහිල් කොට, ලබා දීමට කටයුතු කිරීමට කඩිනම් පියවර ගන්නවා.
ගරු කථානායකතුමනි, ශී‍්‍ර ලාංකිකයකු ලෙස මෙරට උපදින දරුවකු ඉදිරියේ නව ලොව ජයගැනීමට ඇති අසීමිත වූ ඉඩ ප‍්‍රස්ථා දෙස බලන විට, තම ජනවර්ගය, ආගම, ප‍්‍රදේශය, පෙළපත, ආර්ථික හැකියාව ආදී කිසිවක් තව දුරටත් එම දරුවා ඉදිරියේ බාධාවක් විය නොහැකියි. මා ඉන් අදහස් කරන්නේ යම් පුද්ගලයකු සතු අනන්‍යතාවක් වේ නම් එය දුර්වල කර, දිය කර හැරිය යුතු බව නොවේ. එහෙත් මා කණගාටුවෙන් වුවද කිව යුතු කරුණක් වන්නේ, අප හට නූතන ජාතියක් ලෙස නැගී සිටීමට බාධා පමුණුවන, ඇතැම් ගතානුගතික සහ පසුගාමී, වැඩවසම් යුගයට අයත් නශ්ඨාවශේෂ අප සමාජයේ අදටත් ඉතිරිව තිබෙන බවයි. මා බොහෝ අවස්ථාවල දැක තිබෙනවා, තමන්ගේ පෙළපත් නාමය පොදු ස්ථානවලදී හඬ නගා කියනා විට ඇතැම් පුද්ගලයින් අපහසුතාවට පත් වන ආකාරය. මෙසේ අපේම සහෝදර ජනතාව අපහසුතාවට පත් වන ආකාරයෙන් ඔවුන්ගේ පෙළපත් නම් භාවිතා කිරීමට සැලැස්වීම නූතන ශ‍්‍රී ලාංකිකත්වය ගොඩ නැගීමට බාධාවක් යැයි මම විශ්වාස කරනවා. එබැවින්, පොදු ස්ථාන සහ පොදු ලේඛනවල පෙළපත් නාමය දැක්වීමට අවශ්‍ය වන්නේ නම්, ඒ නමෙහි හිමිකරුවාගේ කැමැත්ත මත පමණක් එසේ කළ යුතු බවත්, යම් කෙනෙකු ඊට අකමැති වන්නේ නම්, ඔහුගේ හෝ ඇයගේ පෙළපත් නාමය මුලකුරුවලින් පමණක් දැක්වීමට අවශ්‍ය ප‍්‍රතිපාදන සැලසීමටත් මගේ රජය කටයතු කරනවා. ඒ අනුව, තම පෙළපත් නාමය ප‍්‍රසිද්ධියේ භාවිතා කිරීමට ඇති අයිතියට බාධා වන්නේ නෑ. විශේෂයෙන්ම, මා මේ ක‍්‍රියාව සලකන්නේ, 1956 ප‍්‍රගතිශීලී සමාජ විප්ලවයට නායකත්වය දුන් බණ්ඩාරනායක ශී‍්‍රමතාණන්ගේ සමාජ-ප‍්‍රජාතන්ත‍්‍රවාදී දර්ශනය තව දුරටත් ඉදිරියට ගෙන යාමට ඉවහල් වන පියවරක් ලෙසයි.
කාලානුරූපීව ලෝකය වෙනස් වන ආකාරය අනුව ලෝකයේ නව අභියෝග ඇති වෙනවා, නව සමාජ ප‍්‍රශ්න ඇති වෙනවා. අපි එම නව අභියෝග සහ ප‍්‍රශ්නවලට අපේ සභ්‍යත්වයේ හර පද්ධතිය රැුක ගනිමින් නව දැක්මකින් යුතුව ප‍්‍රතිචාර දැක්වීමට සූදානම් විය යුතුයි.
ශ‍්‍රී ලංකාව දැනටමත් මත්ද්‍රව්‍ය භාවිතය අධික රටක් බවට පත්ව තිබෙනවා.අපේ රටේ දරුවන් මත් උවදුරෙන් මුදවා ගැනීමට අපොහොසත් වුවහොත් අපේ කිසිදු අනාගතවාදී බලාපොරොත්තුවක් ඉටු නොවනු ඇති බව මා අවධාරණය කළ යුතුයි. මත්ද්‍රව්‍ය භාවිතය හුදු සෞඛ්‍ය ප‍්‍රශ්නයක් පමණක් නොව, අපේ රටේ සමාජ ප‍්‍රශ්නයක් බවට පත්ව ඇති බව ඔබ දන්නවා. දුම්කොළ, දුම්වැටි භාවිතය අවම කිරීමේ සිට සියලූ ආකාරයේ මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සඳහා මාගේ ප‍්‍රධානත්වයෙන් යුතුව මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා නව දීප ව්‍යාප්ත වැඩසටහනක් දැනටමත් ක‍්‍රියාත්මක කොට තිබෙනවා.
ගරු කථානායකතුමනි, මේ රටේ නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ විය යුතු බව කලක පටන් උගතුන් සහ බුද්ධිමතුන් පෙන්වා දුන්නා. මා ජනවාරි 08 වැනිදා බලයට පත් වූයේ ඒ නව දේශපාලන සංස්කෘතිය ආරම්භ කරන බවට ලබා දුන් ප‍්‍රතිඥාවක් ද සමග බව මා සිහිපත් කළ යුතුයි. පරිපූර්ණ සහ ආදර්ශවත් දේශපාලඥයකු සතු විය යුතු විනයගරුක බව, යහපත් ප‍්‍රතිරූපය, මනා පෞරුෂය සහ සදාචාරවත් බවින්  සපිරි ජන නායකින්ගෙන් සැදුම්ලත් නව දේශපාලන සංස්කෘතියක් ගොඩ නැගීම වෙනුවෙන් මා කැප වී සිටින බව ප‍්‍රකාශ කිරීමට කැමතියි.
රටේ පොදු මහ ජනතාව ද දේශීය මෙන්ම විදෙස්ගත බුද්ධිමතුන් ද බලාපොරොත්තු වූ ඒ නව දේශපාලන සංස්කෘතිය ඇති කිරීමේ අත්තිවාරම දැන් වැටී තිබෙනවා. මේ රට තුළ විසිරී සිටින දේශීය බුද්ධිමතුන්ට මෙන්ම විදෙස් ගත ශ‍්‍රී ලාංකීය බුද්ධිමතුන්ට මා ගෞරවයෙන් ආරාධනා කරනවා,  මේ රටේ නැගී එන එම නව සම්මුතිවාදී දේශපාලන පරිසරය තුළ ඔබේ විශේෂඥ දැනුම සහ හැකියාවන් අපේ රට ගොඩ නැගීමට දායක කරන ලෙස. විශේෂයෙන්ම, තම මව් රටට සේවය කිරීම සඳහා මාගේ මේ ඉල්ලීම පිළිගෙන නැවත පැමිණීමට අපේක්ෂා කරන විදෙස්ගත ශ‍්‍රී ලාංකික බුද්ධිමතුන් රතු පලසක් මතින් පිළිගැනීමටත් ඔවුන්ව, මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධීකරණය කිරීම පිණිස මාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්යාංශයක් පිහිටුවීමටත් මාගේ රජය කටයුතු කරනු ඇති. දේශපාලනික වශයෙන් පිල් වලට නොබෙදී, රටේ අභිවෘද්ධිය වෙනුවෙන් එකමුතුුව වැඩ කිරීමට සුදුසුම කාලය දැන් එළඹ ඇති බව මම ඔවුන්ට සිහිපත් කරන්නට කැමතියි.
අවසන් වශයෙන්, මා එක් කරුණක් අවධාරණය කළ යුතුයි. මේ රට නිදහස ලැබූ දින සිට පාලනය කෙරුණේ ප‍්‍රධාන පක්ෂ දෙකක් විසින්. ඉන් එක් පක්ෂයක් අවුරුදු 35ක් මේ රට පාලනය කළා. අනෙක් පක්ෂය අවුරුදු 32ක් මේ රට පාලනය කළා. එකිනෙකාගේ කාලය තුළ සිදු කළ දේ ගැන දෝෂාරෝපණය කරමින්, එදිරිවාදී දේශපාලනය කරනවා වෙනුවට සම්මුතිවාදී දේශපාලන සම්ප‍්‍රදායක් ගොඩ නැගීමට මාගේ ධුර කාලය තුළදී මා දරනා අධිෂ්ඨානශීලී ප‍්‍රයත්නයට ඔබ සැමගේ සහයෝගය සහ කැපවීම, රටේ සහ ජාතියේ අභිවෘද්ධිය වෙනුවෙන්, ලබා දෙන මෙන් මා ඔබෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
මෙතැන් සිට, මේ ප‍්‍රධාන පක්ෂ දෙකෙහි සුසංයෝගය පදනම වශයෙන් තබා ගනිමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ පක්ෂ සහ මහජන නියෝජිතයන්ගේ  සම්මුතිවාදී සහයෝගය, දැනට ගොඩනැගෙමින් පවතින යහපත් දේශපාලන සංස්කෘතිය තවදුරටත් තහවුරු වන අන්දමින් රටේ අභිවෘද්ධිය සහ ප‍්‍රගමනය සඳහා යොදා ගත හැකි වන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබගේ අවධානය යොමු කරන මෙන් මා ඔබ සියලූ දෙනාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Follow Lanka Times on WordPress.com

Twitter Updates

Instagram Feed

Vehicle with green break light
sinhalaya sindiya
September 2015
S M T W T F S
« Aug    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Category

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Join 71 other followers

Tags

%d bloggers like this: