you're reading...
Uncategorized

නිදහස සහ අවශ්‍යතාව: අධ්‍යාපනය සහ සංවර්ධනය – ‘කතිකා‘ අධ්‍යයන කවය


download2005 ජනාධිපතිවරණය නව-ලිබරල්වාදය සහ ජාතික චින්තන මතවාදය අතර අධිපතිභාවය සඳහා කෙරෙන තීරණාත්මක සටනක් ලෙස හැඳින්වූ අප කියා සිටියේ මෙම ගැටුමේ දෙපාර්ශ්වයට හවුල් වන ජනතාව නියෝජනය කරන අපේක්ෂාවන් වන පිළිවෙලින් පුද්ගලවාදයත්, ප්‍රජාවත් අතර ගැටුම අප සමාජයේ අධිකාරවාදී ප්‍රවණතාවන් ශක්තිමත් කරන්නට තර්ජනය කරන බවත්, මෙම ගැටුම සංහිඳියාවට ගෙන ඒමේ මඟක් ලෙස සක්‍රීය පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදයක් පිළිබඳ අදහස පරිකල්පනය කළ හැකි බවත් ය (බලන්න, ‘කතිකා‘ ප්‍රාරම්භක කලාපයප්‍රකාශ ). පසුව, ජාතිකචින්තනය නියෝජනය කරන දේශපාලන ගතිකය මහින්ද රාජපක්ෂ ජනාධිපති වූ පසු නවලිබරල් ජාතිකවාදයක් බවට හැරුණු බවට අපි තර්ක කළෙමු (බලන්න, ‘කතිකා‘ ප්‍රාරම්භක කලාපය “නව-ලිබරල් ජාතිකවාදයක්“). ඉන් අප අදහස් කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ රජය ආර්ථිකයේ දී නවලිබරල්වාදයත් දේශපාලන තලයේදී ජාතිකවාදී පිළිවෙතකුත් අනුගමනය කළ බවයි.2010 ජනාධිපතිවරණය යලිත් වරක් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන්ගෙන් භරිත ලිබරල්වාදය සහ ජාතිකත්වය අතර ගැටුමක් ලෙස සූත්‍රගත කළ අප එහිදී කියා සිටියේ මෙම ප්‍රවණතා දෙකම එකක් අනෙක යටකොට නොගනිමින් එකිනෙක සමඟ සහවාසයෙන් කටයුතු කරන්නට උත්සාහ කිරීම තුළ අධිකාරවාදයෙන් මිදී, ඒවා එකිනෙකින් පෝෂණය ලබමින් ඌණ පූරණය වෙමින් අප සමාජය සරු කළ හැකි බවයි. එය පුද්ගලභාවය පිළිබඳ අදහස සාමුහික ප්‍රජාවේ මහජන තලයෙහි විශිෂ්ටත්වයට ගෙන ආ හැකි සක්‍රීය පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදයක් මෙරට ගොඩ නැගීමට පාදක කරගත හැකි බවයි (බලන්න,https://kathika.wordpress.com/ ජනවාරි, 2010 දේශපාලනය – “ජනාධිපතිවරණය: ජාතිකවාදයද නැතහොත් ලිබරල්වාදයද? දෙකම!“)

අප 2012 වසර අවසාන වී ඇති අද වන විට ලාංකේය සමාජය මුහුණ දෙන අභියෝග කවරේ ද?

තිස් වසරක යුද්ධය අවසන ලාංකේය ජනයා මුහුණ දී ඇති මූලික දේශපාලන අභියෝග වූකලී මෙරට පැවති සීමිත ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහ සහ භාවිත යළි පණ ගැන්වීම, රැකගැනීම සහ සක්‍රීය පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදයක් දක්වා ගැඹුරු කිරීම සහ නව ලිබරල්වාදය පරාජය කිරීම පිළිබඳ අවශ්‍යතාවන් ය. ප්‍රජාතන්ත්‍රවාදය යළි පිබිදවීම යටතේ දේශපාලන බලය විමධ්‍යගත කිරීම විශේෂයෙන් දෙමළ සහ මුස්ලිම් ජන කොටස් වල දේශපාලන අයිතීන් තහවුරු කිරීම ප්‍රධාන අවශ්‍යතාවකි.

I ජාතික චින්තනය පරදා නව ලිබරල්වාදය ජය ගැනීම

පශ්චාත් යුද ලාංකේය සමාජයේ අප අත් දකිමින් සිටින්නේ නව ලිබරල්වාදය සහ ජාතික චින්තනය අතර ගැටුමෙන් නව ලිබරල්වාදය ජය ගෙන ඇති බවයි. අද වනවිට ආර්ථිකයේ නව ලිබරල්වාදයත් සාමාජීය ජීවිතයේ පුද්ගලවාදයත් අධිපතිවාදයට පත් ව තිබේ. දේශපාලන තලයේ, ලිබරල්වාදයත් ජාතිකවාදයත් අතර ගැටුම දිගටම පවතියි. මෙය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්, ජනමාධ්‍ය නිදහස ඇතුළු මානව අයිතිවාසිකම් පිළිබඳ කතිකාවන් පදනම් කොටගෙන ඇතිවන ගැටුමකි.

ලිබරල්වාදයට අනුව මානවයා යනු සාමුහික බැඳීම්වලින් ස්වායත්ත තාර්කික ආර්ථික සත්ත්වයෙකි. ඔහුගේ හෝ ඇයගේ ජීවිතය සහ අරමුණු ප්‍රධාන කොටම ඔහු හෝ ඇය වෙළෙඳ පොළේ තරඟ කරුවෙකු ලෙස දරන ආර්ථික තත්ත්වය විසින් නිශ්චය කෙරෙයි. ලිබරල්වාදයේ දේශපාලන ව්‍යාපෘතිය වෙළෙඳපොළේ පුද්ගල නිදහසට බාධා නොකරන පරිදි රජයේ කාර්යය සීමා කිරීම අරමුණු කොට ගත්තකි.

නවලිබරල්වාදය ආර්ථිකය හැසිරවීමෙහි ලා වෙළඳපොළම තීරණාත්මක කොට සලකයි. රජයේ තැන වෙළඳපොළට ගත හැකි යයි සහ ගත යුතු යැයි සලකයි. එයට බාධා කළ හැකි සියලු පොදු ආයතනික මැදිහත්වීම්වලින් වෙළඳ පොළ නිදහස් කිරීම අරමුණු කරයි. ඒ අනුව ආර්ථිකයට පැනවෙන පාලන රීති හා සීමා කිරීම් ඉවත් කොට, වෙළඳ නිර්බාධීකරණය, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ සාමාජීය සුභසාධනය ඇතුලු රාජ්‍ය අංශය ගලවා දැමීම යනාදිය මූලික නවලිබරල්වාදී පිළිවෙත් ය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ රජය නව ලිබරල්වාදයට විකල්පයක් සම්පාදනය කරගැනීමේ උත්සාහයක යෙදී සිටින්නේ යැයි ජාතික චින්තනවාදීන් මුලින් තැබූ විශ්වාසය දැන් අත්හැර දමා ඇත. මහින්ද චින්තනය, ලංකාව බටහිර අධිරාජ්‍යවාදයේ ග්‍රහණයෙන් මුදවා, නව ලිබරල්වාදයට විකල්පයක් ලෙස රජයත් වෙළඳපොළත් දෙක බද්ධ කරන ජාතික ආර්ථිකයක් ගොඩනඟන්නට යෝජනා කළාය. නමුත් ගෝලීයකරණය යටතේ ජාතික ආර්ථිකයක් ගොඩ නැගිය නොහැකි ය. ජාතික ආර්ථිකයක් ගොඩ නඟනු වෙනුවට දැන් කෙරෙන්නේ රජය තම සියලු ආර්ථික වගකීම්වලින් නිදහස් වී අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි අත්‍යවශ්‍ය මහජන සුභ සාධන සේවා වෙළඳපොළට පැවරීමට ක්‍රියා කිරීම ය. මෙලෙස ක්‍රියාත්මක වන්නේ ‘අත පල්ලෙන් හැලෙන ධනවාදයක්‘ බව කිමෙන් ජාතික චින්තනවාදීන් ද අදහස් කරන්නේ මෙම ධනවාදී වර්ධනයේ ප්‍රතිලාභ පොදු ජනයාට සාධාරණ ලෙස නොලැබීමෙහි ඇති ගැටලුවයි.

ඒකීය රාජ්‍යය රැකීම වෙනුවෙන් නව ලිබරල් ධනවාදය ඉවසා සිටිය යුතු යැයි කියන තැනට ජාතික චින්තනය පත්ව ඇත. ජාතිය ගෝලීය ප්‍රාග්ධනයේ ණය චක්‍රයට උගස් තබන මෙම ධනවාදී වාණිජ සංවර්ධනයේ දේශප්‍රේමයක් නැති බව ඔවුනට නොපෙනෙයි. සිදුවෙමින් පවතින්නේ සංවර්ධනය නාමයෙන් වෙළෙඳ පොළ තර්කනය සමාජයේ හැම ක්ෂේත්‍රයකම අධිපතිභාවයට ගෙන ඒමේ වැඩ පිළිවෙළක් ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබීම යි.

ලිබරල්වාදය සහ පුරවැසි දේශපාලනය

දේශපාලනික වශයෙන් අප තවමත් මුහුණ දී තිබෙන ප්‍රධාන ගැටලුවක් නම් සක්‍රීය පුරවැසිභාවයක් මත පදනම් වූ බහුජන දේශපාලන ව්‍යාපාර ගොඩ නැගීමට නොහැකියාවයි. ඒ වෙනුවට බූර්ෂුවා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු දේශපාලනය විශ්වාස තබන්නේ ඡන්ද දිනා රජය පිහිටුවීම කෙරෙහි පමණි. රෙජීම වෙනස් කිරීමේ අරාබි වසන්තය මෙරට විපක්ෂ දේශපාලන ව්‍යාපාරවලට සහ දේශපාලන වික්‍රමවාදීන්ට ආස්වාදජනක බලාපොරොත්තුවක් දනවන නමුදු එවැන්නක් මෙරට සිදුවීම සඳහා අවශ්‍ය දේශපාලන සන්දර්භය සහ බහුජන සහභාගිත්වය පිළිබඳ අවබෝධයක් ඔවුනට නොමැත. ඒ සඳහා බහුජනයා වීදි බසින අවස්ථා තමන්ගේ වාසියට හරවාගැනීම සඳහා උත්සන්න කිරීමට උත්ප්‍රේරකයන් වශයෙන් ක්‍රියා කොට තමන්ට එම ව්‍යාපාරවල නායකත්වය ගත හැකි යැයි ඔවුහු අපේක්ෂා කරති.

2010 ජනාධිපතිවරණය මෙරට ලිබරල් දේශපාලන බලවේගවල ශක්තිය ප්‍රදර්ශනය කළ අවස්ථාවක් ලෙස ආරම්භයේදී පෙනී ගිය නමුදු තම ජනාධිපති අපේක්ෂකයා ලද පරාජයෙන් පසු එම බලවේග හැසිරුණු ආකාරයෙන් පෙනී ගියේ ලිබරල්වාදය නියෝජනය කරන සිවිල් සංවිධානවලට ජනතාව අතර දේශපාලන පදනමක් නොමැති බවයි. තම අපේක්ෂකයා පැරදී රජයේ මර්දනයට මුහුණ දුන් විට ආරම්භයේදී ඔහු වෙනුවෙන් ප්‍රබල හඬක් නඟන්නට පවා ලිබරල්වාදය නියෝජනය කළ බලවේග අපොහොසත් වීය.

ධනේශ්වර ලිබරල්වාදී දේශපාලනයට සක්‍රීය පුරවැසිභාවය පිළිබඳ මහජනයා මුල් කොට ගත් දේශපාලන සංකල්පයක් නොමැත. රජයෙන් තර්ජනය එල්ල වූ විට ඔවුහු තානාපති කාර්යාලවලට සහ ජාත්‍යන්තරයට දුවති. සිවිල් සමාජ දේශපාලනය රජය විසින් මර්දනය කෙරුණු විට ඔවුහු එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගියහ.

සංවර්ධනය, සමාජ සාධාරණත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදය සමඟ ගැටෙයි

ලංකාවේ දේශපාලන ක්‍රියාවලිය 2010 මහ මැතිවරණයෙන් අනතුරුව රාජ්‍ය‍ය මගින් මෙහෙයවනු ලැබෙන සහ රාජ්‍ය අනුග්‍රහය ලද දැවැන්ත ආර්ථික සංවර්ධන වැඩපිළිවෙලකට අවතීර්ණ වීමේ ඉඩකඩ හමුවේ ඒ සඳහා විසම්මුතියේ දේශපාලනය අහෝසි කිරීමට යොමුවීම මගින් රජය මෙරටේ සම්ප්‍රදාය සහ සංස්කෘතිය සමග බරපතළ ගැටුමක‍ට යොමු කිරීමට ඉඩ ඇතැයි ද අපි කියා සිටියෙමු. ආර්ථික සමෘද්ධිය සඳහා විසම්මුතියේ දේශපාලනය අහෝසි කිරීමේ වත්මන් යෝජනාවට මෙරට ජනයා කෙසේ ප්‍රතිචාර දක්වනු ඇත්දැයි අප එකළ ඇසූ පැනයට දැන් කිසියම් පිලිතුරක් ලැබී තිබේ.

අධිවේගී මාර්ග, වරාය, ගුවන් තොටුපළ වැනි යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් අධ්‍යාපනය සහ සෞඛ්‍යය වැනි අත්‍යවශ්‍ය සුභ සාධන සඳහා කෙරෙන ආයෝජන කැප කිරීම මහජන අවධානයට යොමු වී තිබේ. ගම සහ නගරය අතරත් නගරය ඇතුළතත් කුමන කලාප සහ ප්‍රදේශ මෙන්ම කාගේ කුමන අවශ්‍යතා ප්‍රමුඛත්වය ලබන්නේද යන්න මඟින් සංවර්ධන කටයුතු කුමන දිශානතියක් ගන්නේද යන්න පෙන්නුම් කරයි. නාගරික සංවර්ධනය සඳහා කෙරෙන ආයෝජනයේ ප්‍රමුඛතා පිළිවෙළ ධනවතුන් වසන ප්‍රදේශවලටත් ධනපති ආයෝජකයන්ටත් ධනපති සහ මැද පන්තිකයන්ගේ සුඛ විහරණයටත් වැඩිවාසි සලසන සුලුය. රාජ්‍ය ආරක්ෂාව සහ නාගරික සංවර්ධනය එකට ගැටගසා තිබීම නාගරික ජනයාගේ අයිතිවාසිකම්වලට සහ නගරයේ ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක් එල්ල කරයි.

රජයේ සංවර්ධන වැඩ පිළිවෙළ තමන්ගේ පැවැත්මට තර්ජනයක් වූ විවිධ අවස්ථාවල මහජනයා රජය සමග ගැටුණහ. විවිධ ස්ථානවල ගැමි සහ නාගරික ජනයා තම පාරම්පරික පදිංචි ස්ථානවලින් විතැන් කිරීම තාවකාලිකව නවතාලන්නට ජනතා බලවේගවලට හැකිවීම ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයකි. කොළඹ මහනගර සභා ඡන්දයේදී රජය පරාජය වීමට ප්‍රධාන හේතුව වූයේ සංවර්ධනයේ නාමයෙන් දුගී ජනයා තම පාරම්පරික වාසස්ථානවලින් විතැන් කිරීමට රජය පියවර ගැනීම ය. නිදහස් වෙළෙඳ කලාප සේවකයන් තම විශ්‍රාම වැටුප රැක ගැනීම වෙනුවෙන් කළ සටන, සංචාරක ව්‍යාපාරය සංවර්ධනය නමින් රජය තම ජීවනෝපාය සපයන කළපු සහ ජලාශ සම්පත විනාශ කිරීමට එරෙහිව ධීවර ජනයා ගෙනගිය සටන්, එළවුළු අසුරන කූඩා යොදාගැනීම අනීවාර්ය කරමින් රජය පැනවූ නීතියට එරෙහිව ගොවීන් සහ එළවුළු වෙළෙන්දන් පැවැත්වූ විරෝධතා ව්‍යාපාරය, තම ගම්මාන විනාශ කරමින් අධිවේගී මාර්ග තැනීමට ගැමියන් විරුද්ධ වී එබඳු පියවර වැළැක්වීම හෝ තමන්ට රුචි පරිදි ඒවා කළමනාකරණය කර ගැනීම අනෙක් ප්‍රධාන උදාහරණ වෙයි.

නව මිලිටරි නාගරිකවාදය

ලොව පුරා රාජ්‍ය ආරක්ෂක ආයතන නගරය දිශාවට, සිවිල් වැසියන්, සමාජීය ව්‍යාපාර, සහ අනෙක් අරගලවලට එරෙහිව හැරෙමින් පවතී. දැන් යුද්ධයේ රූපක මත්ද්‍රව්‍ය, දුප්පත්කම සහ ත්‍රස්තවාදය බවට මාරුවී ඇත. දේශපාලන සහ ආර්ථික ප්‍රභූ පැළැන්තිය විසින් භූමිය යළි අත්පත් කරගැනීමේ ‘රිවැන්ෂිස්ට්‘ (revanchist) ප්‍රතිපත්ති නව මිලිටරි නාගරිකත්වය සමඟ බොඳ වෙයි. නව මිලිටරි නාගරිකවාදයට අනුව ආර්ථික සංවර්ධනය සඳහා නගරයේ අවුල නැතහොත් අපිළිවෙළ දුරු කළ යුතුය.“ අපිළිවෙළගත“ ජනගහනයන් තහනම් කිරීම සහ බිහිසුණු ලෙසින් චිත්‍රණය කිරීමේ අධි-තාක්ෂණික මිලිටරීකරණය වූ එළඹුම ප්‍රතිඵල අතින් දේශපාලන සහ ආර්ථික ප්‍රභූ පැළැන්තිය විසින් භූමිය යළි අත්පත් කරගැනීමේ රිවැන්ෂිස්ට් ප්‍රතිපත්ති හා සමාන වෙයි. එහි ප්‍රතිඵලය වන්නේ ඒවායින් දුප්පතුන් සහ “අපිළිවෙළගත “ අය බැහැර කළ හැකි පරිභෝජනයේ සහ දේශපාලන සහ ආර්ථික බලයේ බළකොටු හැදීම යි, නගර ප්‍රභූකරණයට ලක් කිරීම යි, දුප්පතුන්ගේ ඉඩම් අහස උසට නැගෙන මහල් මන්දිර ඉදිකිරීම සඳහා ගැනීම යි. නගරය පිළිබඳ මෙම මිලිටරීකරණය කළ පරිකල්පනාව නගරය පරිභෝජනය සහ ආයෝජනය සඳහා එක අලෙවි පොදියක් ලෙස සකස් කිරීම සමග බැඳී පවතින අතර නගරයේ ස්ථාපිත පිළිවෙළ ට තර්ජනය කරන්නේ යැයි සිතන අය දේශපාලන වශයෙනුත් ඉලක්ක කරයි

ඔවුන්ට අමතක වන කරුණ ලෙස පෙනෙන්නේ සමෘද්ධිමත් නගරය යනු හුදු හෞතිකව දියුණු, අලංකාර කළ, සංචාරකයන් සහ පොහොසතුන් පමණක් සැප සම්පත් විඳින නගරය නොවන බවයි. සශ්‍රීක නගරය සියලු පුරවැසියන්ට ඉහළ ජීවන තත්ත්වයක් ලබා දීමටද, සාධාරණය සහ යුක්තිය ඉටු කිරීමටද, හැම කටයුත්තකදීම ඔවුන්ගේ සහභාගීත්වය සහ එකඟත්වය ලබා ගැනීමටද ක්‍රියා කරන හෙයින්, ස්ථායි බවින් යුතුව, මිනිස්කමින් බැබළෙන නගරය වන්නේ ය.

ජනවාර්ගික ගැටලුව අධිනිශ්චය වීම

යුද සමයේ භාවිතයට ආ ජනප්‍රිය න්‍යායාත්මක අදහසක් වූයේ ජනවාර්ගික ගැටලුව ලාංකේය සමාජයේ දේශපාලනය තුළ අධිනිශ්චිත වූ බවයි. එම අදහසම වටහා ගත හැකි තවත් ආකාරයක් වන්නේ පැවැති න්‍යායික විග්‍රහ ජනවාර්ගික ගැටලුව අධිනිශ්චායක කරුණ වශයෙන් පිළිගෙන එයට සීමා වූ බවයි. ජනවාර්ගික ගැටලුව සහ අනන්‍යතා දේශපාලනය පදනම් කොට ගත් වාම ලිබරල් දේශපාලනය ලාංකේය දේශපාලන කතිකාවේ අධිපතිභාවයට පත්වීම සමඟින් ජනවාර්ගික ගැටලුවේ දේශපාලනය සම්බන්ධයෙන් එය ගත් මඟ සිංහල ජාතිකවාදයේ නැගීමට තුඩු දුන්නේය. එය කෙළවර වූයේ මහින්ද රාජපක්ෂ ජනාධිපති බවට පත් කර ගැනීමට ජාතික චින්තන ව්‍යාපාරය සමත් වීම සහ යුද්ධය මගින් ජනවාර්ගික ගැටලුවට ‘විසඳුමක්‘ ඉදිරිපත් කිරීම මඟිනි.

ජනවාර්ගික ගැටලුව සහ අනන්‍යතා දේශපාලනය කතිකා ලෙසින් අධිපතිබව අත් පත් කරගැනීමෙහි අනෙක් ප්‍රතිඵලය වූයේ 1977 සිට මෙරට දිග හැරුණු නවලිබරල්වාදී ආර්ථික පිළිවෙතත් එය සමග ව්‍යාප්ත වූ ලිබරල් පුද්ගලවාදයත් පිළිබඳ ප්‍රබල විවේචනයක් ලංකාවේ බුද්ධිමය ස්තරයන් විසින් මෙරට සමාජ කතිකාවේ ප්‍රබලව ගොඩ නොනැගීමයි. එයට එක් හේතුවක් නම් රජය සීමා කරමින් වෙළෙඳපොළ ආර්ථිකයට මුල් තැන දීමේ ලිබරල් අදහස සමඟ බැඳුණු ලිබරල් පුද්ගලවාදය ජනවාර්ගික ගැටලුව සහ අනන්‍යතා දේශපාලනය සමඟ ගැට ගැසී තිබීමයි.

ජේ. ආර්. ජයවර්ධන මෙරටේ දේශපාලන සම්ප්‍රදායට සහ සංස්කෘතියට පටහැණිව බලහත්කාරය යොදා 1977 දී නව ලිබරල්වාදී ආර්ථික වැඩපිළිවෙලක් සහ මර්දනකාරී දේශපාලනයක් දියත් කළේය. නව ලිබරල්වාදයට මෙරට ජන සමාජයෙන් එල්ල වූ බලවත් ප්‍රතිරෝධය පෙන්නුම් කරමින් 1994 දී බලයට පත් චන්ද්‍රිකා කුමාරතුංග ගේ ජනාධිපතිවරණයේ ප්‍රධාන දේශපාලන සටන් පාඨය බවට “මානුෂීය මුහුණක් සහිත විවෘත ආර්ථිකයක්“ යන්න පත්වීය. 2005 ජනාධිපතිවරණයේදී අප , “ජාතික චින්තනය” නියෝජනය කරන්නේ යැයි හැඳින්වූ අපේක්ෂකයා වූ මහින්ද රාජපක්ෂ ජයගත්තේ නව ලිබරල්වාදී ආර්ථික පිළිවෙතට එරෙහිව මෙරට ජනතාව විසින් අවුරුදු 17ක් පුරා ගෙනගිය අරගලයක ප්‍රතිඵලයක් වශයෙනි.

මෙම මහජන ප්‍රතිරෝධය ලංකාවේ දේශපාලන න්‍යාය පත්‍රය තීරණය කිරීමට බල පෑ ආකාරය 2010 ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ ගේ මැතිවරණ ප්‍රකාශනය “මහින්ද චින්තන ඉදිරි දැක්ම“ ප්‍රකාශ කොට කියා සිටියේ, “නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කළ බටහිර සහ නැගෙනහිර සියලු රටවල ආර්ථිකයන් බංකොලොත් වී ගිය අයුරු අපි දුටුවෙමු. අප ද එම ආර්ථික ප්‍රතිපත්තිම කර ගසා ගෙන සිටියේ නම් අපේ ආර්ථිකය ද සහමුලින් ම විනාශ වීමට බොහෝ දුරට ඉඩ තිබිණි. අපි කවදාටත් වඩා අද ස්ථාවරව සිටිමු “ යනුවෙනි.

නමුත් ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයේත් මහින්ද රාජපක්ෂ පාලන සමයේත් නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ඉමහත් බල කිරීමක් ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් මෙන්ම මෙරට ධනේශවර පන්තියෙන්ද දිගින් දිගටම එල්ල වූ සහ වන බව පෙනෙන්නට තිබේ. ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග යටතේ වෛද්‍ය තාරා ද මෙල් ලෝක බැංකු ව්‍යාපෘති හරහා නව ලිබරල්වාදී ප්‍රතිසංස්කරණ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළට ගෙන ආවාය.

1977න් පසු මෙරට ක්‍රියාත්මක වූ වෙළඳපොළ මත පදනම් වූ පාරිභෝගික සංස්කෘතිය පිළිබඳ විවේචනයක් සම්පාදනය කිරීමට එදිරිවීර සරච්චන්ද්‍රයන් තම ‘ධර්මිෂ්ට සමාජය‘ කෘතිය සම්පාදනයෙන් මුල පිරූ නමුදු එම විවේචනය ගුණදාස අමරසේකරයන් ගේ ‘ජාතික චින්තනය‘ මගින් අවසාන විග්‍රහයේදි යලිත් ජනවාර්ගික ගැටලුවටම ගැට ගසන ලදී. නිර්බාධී ආර්ථිකය ආරම්භයේ ඒ පිළිබඳ වාම සමාජ විද්‍යාඥයන් ගොඩ නැඟූ මාක්ස්වාදී සහ වාමවාදී විචාරය ද ජනවාර්ගික ගැටලුව අධිනිශ්චය වීම පිළිබඳ අදහස පිළිගැනීම හරහා ලිබරල්වාදී ප්‍රවාහය අධිපතිභාවයට පත්වීම තුළ ගිලී ගියේය.

යුද්ධය පැවතුණු සමයේ සමාජයේ මූලික අවධානය ඒ කෙරෙහි යොමු වූ හෙයින් ආර්ථිකයේ සහ සාමාජීය ක්ෂේත්‍රයන්හි ක්‍රියාත්මක වූ නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිසංස්කරණ මහජන අවධානයට යොමු නොවුණි. ඊට ප්‍රධාන හේතුව ලිබරල්වාදී දේශපාලනය වැළඳ ගත් ශාස්ත්‍රාලයීය සහ ඉන් පිටස්තර බුද්ධිමතුන් නව ලිබරල්වාදී පිළිවෙත් කෙරෙහි අවධානය යොමු නොකිරීමයි. වෙනත් අයුරකින් කියන්නේ නම් දේශපාලන ලිබරල්වාදය වැළඳගත් ලාංකේය සමාජය නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිසංස්කරණ ඉවසා සිටියේ ඒවාත් ලිබරල්වාදයේ අංග ලෙස සලකාගෙනය. එහෙයින් ලිබරල්වාදීන් නව ලිබරල්වාදය පිළිබඳ විවේචනයක් ඉදිරිපත් කළේ නැත.

II නවලිබරල්වාදය අධ්‍යාපනය ග්‍රහණයට ගැනීමට එරෙහි සටන

සම්භාව්‍ය ලිබරල්වාදය සාමුහික බැඳීම්වලින් ස්වායත්ත තාර්කික මානව සත්ත්වයා පිළිබඳ කාටීසියානු අදහසින් උකහාගත් ලිබරල් මානවීයවාදයත් පුද්ගලයා ගේ ජීවිතය සහ අරමුණු ප්‍රධාන කොටම ඔහු හෝ ඇය වෙළෙඳපොළේ තරඟෙකරුවෙකු ලෙස දරන ආර්ථික තත්ත්වය විසින් නිශ්චය කෙරෙන්නේය යන ආර්ථික සත්ත්වයා පිළිබඳ අදහසත් ඉදිරිපත් කොට ඇත.

විචාරකයන් දැක්වා ඇති පරිදි ලිබරල්වාදී මූලධර්ම අධ්‍යාපනයට ආදේශ කළ විට අධ්‍යාපනයේ වටිනාකම මනිනු ලබන්නේ ආර්ථිකමය වශයෙනි. මේ අනුව උගත් පුද්ගලයා අතිශයින් පුද්ගලවාදී බවට පත්වූ, තමා වෙතටම යොමුවූ (self regarding) සහ පාරිභෝජනයේ යෙදෙන ආර්ථික ක්‍රියාකාරකයෙකි. තරඟකාරී පුද්ගලවාදය තවදුරටත් අසදාචාරමය (amoral) අවශ්‍යතාවක් නොවේ. නව ලිබරල්වාදයට එය නිරතුරුවම ප්‍රති-නව්‍ය උත්පාදනයේ යෙදෙන ව්‍යවසායකයා සඳහා අවශ්‍ය ලක්ෂණයකි (attribute). සම්භාව්‍ය ලිබරල්වාදය නොකළ ආකාරයෙන් නව ලිබරල්වාදය කරන්නට සමත් වී ඇති දෙය නම් වෙළෙඳ පොළ වටිනාකමක් නැති අධ්‍යාපනය යටපත් කොට ගෙන එය නොවැදගත් බවට ලඝු කිරීම යි (trivialise).

නව ලිබරල්වාදයේ දෙවැනි තීරණාත්මක අදියර වන්නේ අධ්‍යාපන ක්ෂේත්‍‍ෙයේ නව ලිබරල්වාදය ක්‍රියාවට නැංවීම යි. ‘මහින්ද චින්තනය‘ අධ්‍යාපනය යන්න වටහා ගන්නා බව පෙනෙන්නේ බටහිර ධනපති ලෝකයේ අධිපතිභාවය ලොව තහවුරු කිරීම අරමුණු කොට ගත් “දැනුම් සමාජය“ ට සේවය කරන්නක් බවට ලඝු කොට ගෙනය. “දැනුම් සමාජය“ පිළිබඳ සංකල්පය අන්ධානුකරණයෙන් භාර ගත හොත් අපට සිදුවනු ඇත්තේ ගෝලීය ධනවාදයේ ව්‍යාප්තියේ දැනුම් කර්මාන්තය පදනම් කරගත් මෙම අදියරෙහි පරිවාරයේ සේවා සපයන ශ්‍රමිකයන් පුහුණු කරන තැනට දැනුමත්, එබඳු දැනුමක් ලබා දීම ලෙසට අධ්‍යාපනයත් ලඝු කිරීමටය.

මහින්ද චින්තනයේ දැනුම් ආර්ථිකය පිළිබඳ සඳහන් යෝජනා වලට අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය පිළිබඳ ජාතික අවශ්‍යතා ලඝු කළ නොහේ. මහින්ද චින්තනයේ හරය වශයෙන් හුවා දැක්වෙන යහපත් සාරධර්ම මත පදනම් වූ සමාජයක් ගොඩ නැංවීම ඊනියා ගෝලීය දැනුම් ආර්ථිකයේ අපට හිමි වන උපාංග වන ‘කෝල් සෙන්ටර්‘ වැනි සේවා ස්ථානවල හෝ සංචාරක කර්මාන්තයේ සුළු සේවාවන්හි රැකියා සඳහා හෝ මුහුද ගොඩ කොට ඒ මත පිහිටුවෙන ‘කැසිනෝ‘ හෝ ‘ලිංගික කර්මාන්තයේ‘ පරිවාර සේවාවන් සඳහා හෝ තරුණ තරුණියන් පුහුණු කිරීම අධ්‍යාපනය ලෙස ගැනීමෙන් කළ හැකි නොවේ. සාමාන්‍ය අධ්‍යාපනයේ ප්‍රධාන අරමුණ විය යුතු යහපත් පුරවැසියන් බිහිකිරීමේ අරමුණ අධ්‍යාපනයෙන් අත හැර දැමීමේ ප්‍රතිඵල සමාජ විරෝධී හැසිරීම් රටා ලෙසින් මේ වනවිට අප සමාජයට දැනෙන්නට පටන් ගෙන තිබේ.

ලාංකේය සමාජයේ අධ්‍යාපනය පළමු කොටම සමාජ සාධාරණත්වය පිළිබඳ කරුණකි. අදත් ගමේ, වතුකරයේ, නගරයේ දුප්පතුන්ගේ දූ දරුවනට නොමිලේ අධ්‍යාපනය ලැබීමට සහ එනිසා සමාජ චල්‍යතාවට ඇති අවස්ථාව අහිමි නොකළ යුතු ය. දෙවනුව, රැකියාවක් කිරීම හෝ වෘත්තියක යෙදීම සඳහා වෘත්තීය අධ්‍යාපනයෙන් ලබන පුහුණුව අවතක්සේරු නොකරන අතර අධ්‍යාපනය යනු ඊට එහා ගිය දෙයකි යන්න මින් අවධාරණය කෙරෙයි. මේ අර්ථයෙන් අධ්‍යාපනය යන්න ලෝකයේ යහපත වෙනුවෙන් කැපවෙන විචාරශීලී යහපත් පුරවැසියන් බිහිකිරීමේ මඟයි. එතැනින් ඔබ්බට යමින් අධ්‍යාපනය යනු ශාස්ත්‍රඥයන්, විද්‍යාඥයන්, චින්තකයන්, දාර්ශනිකයන් බිහි කරන මඟයි. මෙවැන්නන් බිහි කිරීම වැදගත් කොට නොසලකන සංස්කෘතියක්, ශිෂ්ටාචාරයක් ගැන අපට සිතිය නොහැකිය. මෙසේ කීම අධ්‍යාපනය ට බමුණු කුල දෘෂ්ටියක් ආරෝපණය කිරීමක් නොවේ. අවශ්‍ය වන්නේ එවැන්නන් සාමාන්‍ය මහජනයාට ඉහළින් සිටින සුපිරි පන්තියක් ලෙස සැලකීම නොව ඔවුන්ගෙන් ලෝකයට වන සුවිශේෂ මෙහෙවර පිළිගෙන එයට හිමි විය යුතු සැලකීම සහ ගරුත්වය ලබා දීමයි.

විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ කාර්යභාරය

මෙම පසුබිම තුළ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ‘දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට හයක් අධ්‍යාපනය සඳහා රජයෙන් වියදම් කළ යුතුය‘ යන ඉල්ලීම මුල් කොට ගෙන දියත් කළ ව්‍යාපාරය සමාජයේ පොදු යහපත වෙනුවෙන් කටයුතු කිරීමෙහි ලා රජයේ වගකීම වෙළෙඳපොළ තර්කණය වෙනුවෙන් අත් හැරීමට එරෙහිව වත්මන් රජයේ නව ලිබරල්වාදී ආර්ථික පිළිවෙත සෘජුව අභියෝගයට ලක් කරමින් මතු කෙරෙන්නකි. එම අරගලය පශ්චාත් යුද සමයේ මෙරට සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අවකාශය විවෘත කිරීම සඳහා මුල පිරුවාය.

එම අදහස් සමාජගතවීම නව ලිබරල්වාදයටත් ලිබරල් පුද්ගලවාදයටත් එරෙහිව සමාජ විචාරයක් ගොඩ නැංවීමට මුල පිරීමක් වන අතර දේශපාලන පක්ෂයකට නොබැඳුණු මහජන ව්‍යාපාරයක් පොදු සමාජ අරමුණක් වෙනුවෙන් රජයට බලකරන අතරතුර ඒ සඳහා මහජන සහයෝගය අවදි කිරීමට දැරූ උත්සාහයට සමාජයෙන් ලැබුණු යහපත් ප්‍රතිචාරය මෙරට ප්‍රජාතන්ත්‍රවාදය රැකගෙන පවත්වාගෙන යාම පිළිබඳ නව බලාපොරොත්තු අප සමාජයේ ජනිත කොට ඇත. මෙම සිදුවීම් සමාජය තුළ සක්‍රීය පුරවැසි ප්‍රජාවක් ගොඩ නැඟීමේ අවශ්‍යතාව යළි අවදි කිරීමේ හැකියාව පිළිබඳ බලාපොරොත්තුවක් ඇති කරයි.

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ අරගලය ධනේශ්වර සහ මැද පංතීන්ගේ සුඛ විහරණය සඳහා නව ලිබරල්වාදී බලවේග විසින් අත්පත් කරගනිමින් සිට ඇති නගරය යලි මහජනතාව විසින් අත්පත් කර ගැනීමේ ශක්‍යතාව පෙන්වන ව්‍යාපාරයක් ද වීය. නාගරික සංවර්ධනය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය සමඟ ගැට ගැසීමෙන් නගරයේ පත්‍රිකා බෙදීම, පිකට් කිරීම, පෙළපාලි යාම, සහ රැස්වීම් පැවැත්වීම යනාදියට සෘජුව සහ වක්‍රව එල්ල කළ බාධා ජයගෙන ජනතාවට දේශපාලන නිදහස සඳහා යළි නගරය අත්පත් කරගත හැකි බව මෙම අරගලය පෙන්නුම් කළාය.

ඒ අතර, මෙරට වාමාංශික දේශපාලන ආර්ථිකවිද්‍යාවද නවලිබරල්වාදයට යට වී ගොස් ඇති බව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ‘දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට හයක් අධ්‍යාපනය සඳහා රජයෙන් වියදම් කළ යුතුය‘ යනුවෙන් ඉදිරිපත් කළ ඉල්ලීමට පළවූ ප්‍රතිචාරවලින් පෙන්නුම් කෙරිණි.

පශ්චාත් යුද සමයේ ලංකාවේ සමාජයේ සිදුවූ යහපත්ම දෙය සරසවි ඇදුරු අරගලය යැයි සිතිය හැකිය. එය ලාංකේය සමාජයේ අලුත් කතිකාවක් අවුළුවාලූයේය. අප දැන් යුද්ධය පිළිබඳ කතාබහ අවසන් කොට ඇති බව සටහන් කළේ මෙම කතිකාවේ ආගමනය යි. යුද්ධයෙන් පසු සමයේ ඊනියා සංවර්ධන කතිකාව හරහා ‘බඩ-කට‘ පිළිබඳ මාතෘකාවට මාරුවී තිබූ මෙරට සමාජ-දේශපාලන සංවාදය අධ්‍යාපනය පිළිබඳ නව කතිකාව මඟින් යලිත් ‘රට‘ නැතහොත් පොදු යහපත පිළිබඳ මාතෘකාවට මාරුකරන්නට සරසවි ඇදුරු අරගලය සමත් වීය. මෙම සංක්‍රාන්තිය සටහන් කරන්නේ මෙතෙක් පැවති ජාතික චින්තනයේ කතිකාව අවසන් වී ඇති බවයි. නැතහොත් සැබෑ ලාංකේය ජාතික චින්තනයකට මුල පිරිය හැකි නව කතිකාවක් ඇරඹීමේ අවස්ථාව අධ්‍යාපනය පිළිබඳ මෙම නව සාකච්ඡාවෙන් උදා වී ඇති බවයි.

මෙම අරගලය නව සරසවි ඇදුරු පරපුරක් ඉදිරියට ගෙන ආවේය. සුප්‍රකට එක්ටැමෙන් වීදියේ මහ පොළොවට බැස සිටින මෙම නව සරසවි ඇදුරු පරපුර ජාතියේ අනාගතය සුරැකීමට ජාතික සම්පතක් ලෙස රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය රැකගෙන වර්ධනය කරන්නට තමනට ඇති සමාජ වගකීම සම්බන්ධයෙන් බැරෑරුම් අදහසක් දරන බව පෙනෙයි.

මෙම පිරිස 56 පරපුරේ දරුවන්ගේ සාධනීය මුහුණුවර යි. මේ අයට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය රැක ගැනීම සඳහා වන තම අරගලයේදී මුහුණ දීමට සිදුවී තිබෙන්නේ අද රාජ්‍ය බලය අත්පත් කරගෙන සිටින 56 පරපුරේ දරුවන්ගේ බහුතර සමාජ කණ්ඩායමට යි.

’56 පරපුරේ දූ දරුවන් සහ බූර්ෂුවා ප්‍රජාතන්ත්‍රවාදය

එක්සත් ලාංකේය ජාතියක් හෝ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇති කර ගැනීමට අප අපොහොසත්වීම පසුබිමෙහි ඇත්තේ බ්‍රිතාන්‍යයන් අපට ලබාදුන් බූර්ෂුවා, පාර්ලිමේන්තු, නියෝජිත, බහුතරයේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ‘56 දී බණ්ඩාරනායක මුදා හළ, පශ්චාත් විජිත සමයේ මෙරට සමාජයේ අධිපතිභාවයට ක්‍රම ක්‍රමයෙන් පත්වන ස්වදේශීය සමාජ බලවේග එකිනෙකට අභිමුඛ වීමේ ලක්ෂ්‍යයි. අපගේ දේශපාලන හා පරිපාලන ක්‍රමය ආරම්භයේ තිබුණු තත්ත්වයෙන් පිරිහුණේ මෙම හේතුවෙනි. අදවන විට මෙම සමාජ විපර්යාසය එහි තර්කානුකූල අවසානය කරා ගමන් කරමින් තිබෙනු දැකිය හැකිය. ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ආණ්ඩුව මෙම දික් ගැස්සුණු ක්‍රියාවලියේ කූටප්‍රාප්තිය යැයි කිව හැකිය.

මෙම ආණ්ඩුව තුළින්, ‘56 දී බණ්ඩාරනායක මුදා හළ, මැද සහ පහළ පන්තීන්ට අයත් සමාජ බලවේග පළමු වරට පූර්ණ ලෙස රාජ්‍ය බලය අත්පත් කරගැනීමට සමත් වී ඇත. දැන් මෙම සමාජ බලවේග නිරතව සිටින්නේ තමනට ආර්ථික වත්කම් සහ සමාජ බලය ගොඩ නඟා ගැනීමේ අරගලයකය. මේ ’56 පරපුරේ දූ දරුවන් ධනය සහ සමාජ තත්ත්වය උපයා ගන්නා කාලය යි. දේශපාලනය, අධ්‍යාපනය, නීති පද්ධතිය, නිලධාරිතන්ත්‍රය යනාදී සැම වැදගත් සමාජ තලයකම අරක් ගෙන සිටින්නෝ මොවුහු ය.

මෙම ග්‍රාමීය මැද සහ පහළ පන්තික බලවේග පළමු වරට බූර්ෂුවා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය සහ 1977න් පසු මෙරට අධිපතිභාවයට පත්ව ඇති ගෝලීය නව ලිබරල් බලවේග සමග නග්න හමුවකට පමුණුවා ඇත.

විචාරකයන් විසින් අවධාරණය කරන නීතියේ පාලනය බිඳ වැටීම, දැඩි අධිකාරීත්වය, අධික දූෂණය හා නාස්තිය, පළිගැනීම, සුදුසුකම් නොසැලකීම, අසාධාරණ ලෙස ඵල බෙදාගැනීම යනාදී ලක්ෂණ මෙම අරගලයේ තීව්‍රභාවය ප්‍රකාශ වන ආකාරයයි. එය නග්න ය, නිර්දය ය. මාක්ස්ගේ සංකල්පයක් එහි සන්දර්භයෙන් උගුල්ලා කියන්නේ නම් මේ ‘ප්‍රාක්තම සම්මුච්චිතකරණ‘ ක්‍රියාවලියකි.

’56 පරපුරේ දූ දරුවන් ගේ මෙම බහුතර සමාජ කණ්ඩායම අද රාජ්‍ය බලය ලබාගෙන ධනය තනතුරු සහ සමාජ තත්ත්වය ගොඩ නඟා ගැනීමේ මාරාන්තික උත්සාහයක නිරත වී සිටිති. 56 පරපුරට සහ ඔවුන්ගේ දරු පරපුරට සමාජ සංචලතාව සඳහා ඉණිමඟ වූ නිදහස් අධ්‍යාපනය වෙළඳපොළ තර්කණයට යට කොට දුප්පත් ජනයාගේ දූ දරුවනට අධ්‍යාපනය ලැබීමට තිබිය යුතු අයිතියට පයින් ගසන්නට අද රාජ්‍ය බලයේ සිටින පිරිස සැරසෙති. ඒ ගෝලීයකරණය වූ වෙළෙඳපොළේ වාණිජ කටයුතුවලින් සහ අයුතු ගනුදෙනුවලින් ඉක්මන් ලාභ ලැබීම මහන්සියෙන් අධ්‍යාපනය ලැබීමෙන් ඥානය සරිකර ගන්නවාට වඩා පහසුවෙන් ඉහළට නැඟීමේ මඟක් බව ඔවුන් දන්නා හෙයිනි. එහිදී මෙතෙක් අප සමාජයේ ශක්තීන්ව පැවති ආයතනික ව්‍යුහයන්, ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් ඔවුන් දකින්නේ තම අරමුණට බාධා කරන සහ එහෙයින් පරාජය කොට විනාශ කළ යුතු ඒවා හැටියටය. ඒ අතුරින් නිදහස් අධ්‍යාපනයත් රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියත් ඔවුන් දකින්නේ තම අරමුණට යොදා ගත හැකි විය යුතු මෙවලම් ලෙසය, එසේ කළ නොහැකි නම් විනාශ කළ යුතු දේ ලෙස මිස රැක ගත යුතු උරුමයන් ලෙස නොවේ.

නමුත්, සැබෑ ලෙස සමාජයේ ඉහළ නැගීම යනු ධනවත් වීමෙන් හෝ සමාජ තත්ත්වය මිලට ගැනීමෙන්ම ලද හැක්කක් නොවේ. ඒ සඳහා සංස්කෘතික වීම අවශ්‍ය වෙයි. සංස්කෘතික වීම යනු ව්‍යාජ ලෙස බූර්ෂුවා වීම හෝ සාමාන්‍ය ජනයාගෙන් ඈත් වූ ඊනියා ප්‍රභූ පැළැන්තියකට ඇතුළු වීම නොවේ. සංස්කෘතිකවීම යනු ශිෂ්ටසම්පන්නවීම යි. එයට පදනම යහපත් අධ්‍යාපනය යි. විචාරශීලී පුරවැසියන් ගොඩ නගන යහපත් අධ්‍යාපනයේ තැනට රැකියා පුහුණුව ආදේශ කරන පිලිස්තීනු ව්‍යවහාරය මේ අර්ථයෙන් සංස්කෘතික නොවේ.

ඉහත පසුබිම තුළ, එක්සත් ලාංකේය ජාතියක් සහ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගොඩ නැගීම සඳහා අපගේ මූලික කටයුත්ත විය යුත්තේ අප සමාජයේ පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදී ශක්තීන් සහ ව්‍යුහයන් රැකගෙන ස්ථාපිත කිරීම සඳහා දිගින් දිගටම සාමුහිකව කටයුතු කිරීම යි. නූතන ලාංකේය සමාජයේ මූලික ශක්තිය ව පැවතී ඇත්තේ අප විසින් ගොඩ නගාගෙන ඇති පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ව්‍යුහයන් සහ සමාජ භාවිතාවන් ය. අප සමාජයක් වශයෙන් මෙතෙක් මුහුණ පෑ සියලු ව්‍යසනයන්ට මුහුණ දී ඒවා ජයගැනීමට අපට ශක්තිය ලබා දුන්නේ අපගේ ප්‍රජාතන්ත්‍රවාදී ශක්තීන්ය.

සරසවි ඇදුරු අරගලය දියත් කළ ව්‍යාපාරය මඟින් නෙළා ගත හැකි වුව හොත් ඒ කන්නන්ගර මැති තුමා නායකත්වය දුන් නිදහස් අධ්‍යාපනයේ අවසාන අස්වැන්න යි. යටත් විජිත සමයේ සිට ලංකාවේ වාමාංශික දේශපාලනය වැපුරූ සමාජ සාධාරණත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ වගාවේ අස්වැන්න යි. එය යලිත් බීජ කොට වපුරන්නට ලාංකේය ජන සමාජය අසමත් වුවහොත් අප මෙතෙක් දැන සිටි ලංකා සමාජයේ යහපත් පාර්ශ්වය මෙරට සහමුලින්ම අපට ආගන්තුක තැනක් වන තරමට මෙරට මානව සාරධර්ම, වටිනාකම් අතින් වෙනස් වනු ඇත. ඒ සම්බන්ධයෙන් අප සියල්ලන්ම අනාගත පරපුරට වග කිව යුතු වනු ඇත.

III දෝෂාභියෝගය: නිදහස සහ අවශ්‍යතාව

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගය මුල්කොට ගෙන ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර තිබිය යුතු සබඳතා සහ සීමා, ව්‍යවස්ථාව, නීතියේ ස්වාධිපත්‍යය සහ සහ ජනතා පරමාධිපත්‍යය රැක ගැනීමේ වැදගත්කම යනාදිය පිළිබඳ පුළුල් සාකච්ඡාවක් ලාංකේය සමාජයේ පැන නැගුණි.

නීතියේ ස්වාධිපත්‍යය යන අදහසෙහි නූතන සම්භවය ඇත්තේ පරම බලධාරී පාලකයාගේ හිතුවක්කාර අධිකාරයේ බලයෙන් පුද්ගලයාගේ නිදහස ආරක්ෂා කිරීම සඳහා කටයුතු කිරීමෙහිය. වත්මනෙහිදී මෙය නූතන රජය සැදුම් ගන්නා අංශ තුන වන ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය ශක්තතාව සහ අධිකාරය අතින් ස්වායත්ත පරිමණ්ඩල විය යුතු ලෙසිනුත් පුරවැසියාගේ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි විධායකයේ බලය සීමා කිරීම යනුවෙනුත් ගැනෙයි.

ව්‍යවස්ථාව රැක ගැනීමට බහු ජනතාව ඉදිරිපත් නොවන්නේ ව්‍යවස්ථාව රැක ගැනීම වැදගත් ලෙසින් ඔවුනට නොපෙනීම නිසා නම් අප එයට හේතු සිතා බැලිය යුතුය. මෙරට ව්‍යවස්ථා සම්මත කරගැනීම් පාර්ලිමේන්තුව මඟින් මිස ව්‍යවස්ථාව මහජනයා වෙත ඉදිරිපත් කොට ඒ පිළිබඳ ඇතිවන පුළුල් මහජන සාකච්ඡාවකින් පසු කෙරෙන්නක් නොවේ. මෙරට ව්‍යවස්ථාවේ සහ නීතියේ ඇති වැදගත්කම මහජනයාට දැනුණු අවස්ථා ලෙස මූලික අයිතිවාසිකම් තහවුරු කිරීම් ව්‍යවස්ථාපිත නීති මත සුරැකුණු අවස්ථා ගත හැකිය.

සාමාන්‍යයෙන් ගත් කළ නීතිය පිළිබඳ සාමාන්‍ය ජනයාට ඇති හැඟීම නම් නීතිය ජනයා පෙළන්නකි යන්න යි. මෙහිදී සාමාන්‍යයෙන් ගත් කළ නීතිය පසිඳලීම භාර විනිසුරුවනුත්, නීතිඥයනුත්, පොලීසියත්, රජයත් තමන්ට එරෙහිව එක් පසක් ගන්නා ලෙස සලකන්නට ජනතාව පෙලඹී සිටිති. ලෙනාඩ් වුල්ෆ් ලියූ The Village in the Jungle නවකතාවේ සිළිඳු නමැති ගැමියා අධිකරණය හමුවට පමුණුවා ලූ අවස්ථාවේ ඔහු විඳි අතිශයින් විලෝපනය වූ අත්දැකීම පොදු ජනයා සම්බන්ධයෙන් ගත් කළ හරයෙන් අදත් බොහෝ සෙයින් වෙනස් වී නැත.

බලයේ සිටින පාලක පන්තීන් ජනයා පෙළීමට නීති යොදා ගනියි. පරමාදර්ශී වශයෙන් රටක නීතිය, යුක්තිය සහ සාධාරණත්වය සහතික කිරීම පිළිබඳ සාමුහික එකඟතාවන් සංගෘහිත කිරීමක් විය යුතුය.

ව්‍යවස්ථාව සහ නීතියේ ස්වාධීනත්වය රැක ගැනීම පිළිබඳ අදහස නියෝජනය කරන්නේ දේශපාලන නිදහස පිළිබඳ අදහස යි. එවැනි හැඟීමක් ඇති පිරිස වැඩියෙන් සිටින්නේ නාගරික මැද පන්තිය අතරය.

ලාංකේය සමාජයෙහි සහ දේශපාලනයෙහි අද අපට දැකිය හැක්කේ දේශපාලන නිදහස යටපත් කරමින් ජීව විද්‍යාත්මක ජීවිතය රැකගැනීම හා සුඛ විහරණය හා බැඳුණු ඊනියා සංවර්ධන අවශ්‍යතා ජය ගැනීමට දරන උත්සාහයයි.

මැද පන්තියේම කොටසක් පෞද්ගලික සුව පහසුව, විවේකය, පිරිසිදුකම, සමාජ පර්යාය පවත්වා ගැනීම වෙනුවෙන් තම නිදහස කැප කිරීම ට නොපැකිළෙති. ශරීර සුවතාව පවත්වා ගැනීම සඳහා ව්‍යායාම වශයෙන් ඇවිදීමට සහ දිවීමට නගරයේ ධනවත් කලාපයන්හි සකස් කළ පදික වේදිකා සහ මංපෙත්, අධිකතම මිල ඇති සුඛෝපභොගී වාහන වේගයෙන් පදවා යාමේ අපේක්ෂාව කුළුගන්වන පරිද්දෙන් අවුරුදු සිය ගණන් පවා පැරණි විය හැකි මහා ගස් පවා කපා දමා පළල් කළ මං මාවත්, රාජ්‍ය මර්දනයට ලක්ව අතුරුදහන් වූවන් වෙනුවෙන් තැනූ ස්මාරක ඉවත් කොට ඉදිකළ මල් පැළ අලෙවි හල්, විවේක උද්‍යාන යනාදිය නගරයේ ඉදිකර දීමෙන්, පදික වේදිකාවලින් වෙළෙන්දන් ඉවත් කිරීමෙන් සහ කුණු ඉවත් කොට නගරය පිරිසිදුව තබා ගැනීමෙන්, මෙම මැද පන්තික කොටස් දිනා ගැනීමට වත්මන් පාලක රෙජීමය සමත් වී තිබේ.

ලිබරල්වාදයට රාජපක්ෂ රෙජීමය ලංකාවේ දියත් කොට ඇති වාණිජ සහ මූල්‍ය ප්‍රාග්ධනය මුල්කොට ගත් ධනේශ්වර සංවර්ධන ව්‍යාපෘතිය මෙරට ජන ජීවිතයටත් ලංකාවේ අනාගත ආර්ථික ස්ථායීභාවයටත් බලපානු ඇති නිශේධනාත්මක ආකාරය පිළිබඳ ප්‍රබල විවේචනයක් නැත. මීළඟට දේශපාලන බලය ලබාගැනීම අපේක්ෂා කරන රටේ ප්‍රධාන විපක්ෂය වන එ.ජා.ප.යට රාජපක්ෂ රෙජීමය පිළිබඳ ඇති විවේචනය ප්‍රතිපත්තිමය විවේචනයක් නොව රජයේ නාස්තිය, දූෂණය සහ වංචාව ත් අකාර්යක්ෂමභාවයත් පිළිබඳ විවේචනයකි. වත්මන් රාජපක්ෂ රෙජීමය ක්‍රියාත්මක කරන ආර්ථික වැඩ පිළිවෙළ රනිල් වික්‍රමසිංහගේ එජාපයේ ‘යළි පුබුදමු ශ්‍රී ලංකා‘ වැඩසටහන හා බොහෝ සෙයින් සමානය.

දේශපාලන ලිබරල්වාදය පදනම් වී ඇත්තේ පුද්ගල ජීවිතය මහජන තලයෙන් එනම් රජයෙන් සහ සමාජ අගතීන්ගෙන් ආරක්ෂා කර ගැනීමේ මූලධර්මය මත ය. හනා ආරන්ඩ්ට් තර්ක කරන්නේ නූතනය තුළ අවශ්‍ය කෙරෙන්නේ මහජන තලයේ දේශපාලන ජීවිතයෙහි ලා සක්‍රීය පුරවැසි සහභාගීත්වය සඳහා අවශ්‍ය කෙරෙන නිදහස පෞද්ගලික තලයේ අවශ්‍යතා විසින් මහජන තලය අභිභවනය කිරීමෙන් රැක ගත යුතු බවයි. මෙහි ලා නිදහස යනුවෙන් අදහස් කරන්නේ විමුක්තිය හෝ සිවිල් අයිතිවාසිකම් නොවේ.

ඌරුව සහ ආචාර ධර්මය

අගවිනිසුරුවරියට එරෙහිව ක්‍රියාත්මක කළ දෝෂාභියෝගයෙන් මතු වූ කලබැගෑනිය මතුපිටට ගෙන ආවේ අප සමාජයේ ආචාර ධර්මීය භාවය පුරුදු පුහුණු කෙරෙන ඌරුවක් අප අත් හැර දමා තිබීමයි යන්න යෝජනා කරමින් ප්‍රදීප් ජෙගනාදන් ලියූ ලිපිය (http://www.colombotelegraph.com/index.php/impeachment-cj-sir-alan-rose-and-dudley-senanayake-an-ethos-of-ethics/ ) මෙම සාකච්ඡාවෙන් මග හැරී තිබුණු වැදගත් කරුණක් මතු කළේය.

ඇරිස්ටෝටල් ආචාර ධර්මය පිළිබඳ දේශන ඉදිරිපත් කළේ තරුණයන් දේශපාලනයට පිවිසීමට නම් යහපත් ඌරුවක හැදී වැඩී ආචාර ධර්මය ශාස්ත්‍රීය ලෙසත් හැදෑරිය යුතුය යන විශ්වාසය පෙරදැරි කොටගෙනය. මැකියාවෙල්ලි කුමාරයාපොත ලියුවේ දේශපාලන සම්ප්‍රදායක ඌරුවට හිමිකම් නොකියන අලුත් රජ කුමරුන්ට අත් පොතක් ලෙසින් බව මයිකල් ඕක්ෂොට් පෙන්වා දී තිබේ.

අප දරුවන්ට සහ අපටමත් සදාචාර සද්ගුණයන් මත පදනම් වූ ඌරුව නැතහොත් පුරුදු පුහුණු ඇති කිරීම අප අතින් ගිලිහී යාමට හේතුව නම් අප සාමුහික යහපත පිළිබඳ අදහස අතහැර දමා ස්වාර්ථ සාධනය පතා පුද්ගලයන් ලෙස වෙළෙඳපොළෙහි තරඟ කිරීම ප්‍රමුඛ සද්ගුණය ලෙස පිළිගෙන තිබීම යි.

වත්මනෙහි අප දේශපාලන නායකයන් අප සමාජය පදනම් වී ඇති ව්‍යවස්ථාමය සහ නීතිමය පදනම හිතුමතේ වෙනස් කරන්නට ඡන්ද බලය මත පදනම් වූ බහුතරයේ ප්‍රජාතන්ත්‍රවාදය යොදාගෙන තිබීම මෑත කාලයේ අප සමාජයේ ආචාර ධර්මීය පිරිහීමක් සිදුවී ඇතැයි සිතන්නට ජනයා පොලොඹවා තිබේ. මෙරට පාලකයෝ පවත්නා නීති මහා සමාජ විපර්යාස සඳහා ඇති තම පෞද්ගලික අභිලාෂයන් ට හරස් වන විට එම නීති හිතුමතේ වෙනස් කරන්නට පෙලඹෙති.

දැනටමත් විචාරකයන් විසින් පෙන්වා දී ඇති පරිදි සිරිමා බණ්ඩාරනායක අගමැතිනිය වූ ශ්‍රී.ල.නි.ප, ල.ස.ස.ප, කො.ප සභාග රජයේ කොල්වින් ආර් ද සිල්වා සම්පාදනය කළ 72 ජනරජ ව්‍යවස්ථාව අධිකරණයේ තත්ත්වය පහත හෙළා නිලධාරි තන්ත්‍රය ඡන්දයෙන් බලයට පත් දේශපාලනඥයන් යටතට පත් කළේය. සමාජවාදී මාවතේ ප්‍රගතිය සහ සංවර්ධනය සඳහා අධිකරණයත් නිලධාරි තන්ත්‍රයත් දේශපාලන අධිකාරයේ අණසකට යටත් කළ යුතු බව 70-77 සමයේ රජයේ විශ්වාසය විය. ලංකා ආර්ථිකය සහ සමාජය නවීකරණය කිරීමේ තම සැලැස්මට පවත්නා ව්‍යවස්ථාව හරස් වන බව දුටු ජේ. ආර්. ජයවර්ධන තම සංවර්ධන සැදසුම්වවලට ගැලපෙන සේ එය සංශෝධනය කොට ‘ධර්මිෂ්ඨ සමාජය‘ නමින් එය අලෙවි කළේය. විචාරකයන් පෙන්වා දෙන පරිදි ජේ. ආර්. ජයවර්ධන පසුව ජනාධිපති බවට පත්වූ එජාප සභාග රජයේ 78 ව්‍යවස්ථාව වේගවත් ආර්ථික සංවර්ධනයේ නාමයෙන් බලය කේන්ද්‍ර ගත කළ යුතුය යන පදනම මත ඡන්දයෙන් තේරී පත් වූ පාර්ලිමේන්තුව සැබවින්ම බල රහිත කරන ජනාධිපති පදවියක් පිහිටුවාලීය. නව ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීන් තෝරා පත් කර එවන මහජනයාගේ අරුම සහ විසිතුරු ඉල්ලීම්වලට යට නොවී සිංගප්පූරු හෝ මැලේසියානු ආකෘතියක් මත ආර්ථික ගුවන් නැග්මක් කළ හැකි වනු ඇතැයි යන්න ජේ. ආර්. ජයවර්ධන රජයේ විශ්වාසය වීය.ජනාධිපති මහින්ද රාජපක්ෂ රෙජීමය තව පියවරක් ඉදිරියට යමින් ‘මහින්ද චින්තනය‘ ප්‍රකාශ කරන්නේ යැයි රෙජීමය විශ්වාස කරන ‘සංවර්ධනය සඳහා ඇති ජනතා අපේක්ෂාවන් ඉදිරියට ගෙන යාමට බාධා කරන‘ නීතිවලට එරෙහිව යුද්ධ ප්‍රකාශ කොට ඇත.

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගය සම්මත කොට අගවිනිසුරුවරිය බලයෙන් පහ කිරීමත් සමග බලය වෙන් කිරීම සහ අධිකරණයේ ස්වාධීනත්වය යන මූලධර්ම දෙක තව දුරටත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි ය. එහෙයින් නීතියේ ආධිපත්‍යය පිළිබඳ සිද්ධාන්තයට තව දුරටත් වලංගු භාවයක් නොමැති වෙයි. ඒ අනුව මෙම දෝෂාභියෝගය ජේ. ආර්. ජයවර්ධන ගේ 78 ව්‍යවස්ථාව අරමුණු කළ විධායක බලයට ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යටත් කිරීමේ අරමුණ සපුරා මල් පල ගැන්වීමේ අවස්ථාවයි යන්න ද විචාරකයන් විසින් පෙන්වා දෙනු ලැබිණි.

මෙය සාමාන්‍ය ජනයාගේ යුගය යි. 1956 බණ්ඩාරනායක රජය බලයට පත්වීමෙන් ප්‍රකාශයට පත්කළ පොදුජන මිනිසාගේ යුගය දැන් සැබැවින්ම උදා වී තිබේ. රාජපක්ෂ රෙජීමය තුළ සාමාන්‍ය වැසියන් පාලකයන් බවට පත් වී ඇතැයි සාමාන්‍ය ජනයා සතුටින් සිටිති. නමුත් මෙය බණ්ඩාරනායක අදහස් කළ පොදු මිනිසාගේ යුගය නොවේ.

දඹුල්ලේ කවිකාර තෙන්නකෝන් සහ තැපැල් පියුං  තේමිස් වැනි පොදු ජන නියෝජිතයන්ගෙන් සංකේතවත් කෙරුණු ශිෂ්ට සම්පන්න පොදු මිනිසාගේ යුගය වෙනුවට අද උදා වි තිබෙන්නේ 56න් උදා කළ සමාජයෙන් හැලුණු පිටස්තරයන්ගෙන් සමන්විත නන්නත්තාර සමාජ කොටස්වල යුගය යි. 2005 දක්වා නූතන ලංකාවේ දේශපාලන බලය පැවතී ඇත්තේ උඩරට සහ පහතරට ප්‍රභූ පැලැන්තිය අතය. පළමු වතාවට රටේ රාජ්‍ය බලය සාමාන්‍ය මිනිසුන් අතට පත්ව ඇතැයි සිතා මහජනයා විශේෂයෙන්ම පහත රට සිංහල බෞද්ධයන් සතුටට පත් වන බවක් පෙනෙයි.

වත්මන් පාලක රෙජීමය ඔවුනගේ ක්‍රියාවන්ට එල්ල වන හැම විවේචනයක්ම සලකන්නේ අතරමැදි විවිධ ඵල ප්‍රයෝජන නියෝජනය කරන සමාජ කණ්ඩායම් අතර සම්මුති ගැසීමෙන් සමාජ ස්ථායීභාවය පවත්වාගැනීට ඇති අවකාශ ලෙස නොව තමනට එල්ල වන කෙසේ හෝ පැරදවිය යුතු අභියෝග ලෙස ය, සම්ප්‍රධායික ප්‍රභූ පැලැන්තිය සහ එයින් බැහැර කොට ඇති තමන් අතර ගැටුමක් ලෙසය. ඔවුන් ක්‍රියාකරන්නේ හරියටම ඔවුන් අලුතින් සම්ප්‍රදායක් පටන් ගන්නට සැරසෙන ලෙසිනි.

77 බලයට පත් ජේ. ආර්. ජයවර්ධනගේ පාලන තන්ත්‍රය නගරබදත් ගම්බදත් නන්නත්තාර සමාජ පන්ති කොටස් සමාජයේ විවිධ කටයුතු වල සේවය සඳහා මුදා හැරියේය. මගී ප්‍රවාහනය සඳහා වන පෞද්ගලික බස් සේවය ඉන් ප්‍රධාන තැනක් ගනියි. මහින්ද රාජපක්ෂ රජය විසින් සංවිධානය කළ ත්‍රීරෝද රථ රියැදුරන්, පදික වේදිකා වෙළෙඳුන්ද අද මීට එකතු වී සිටිති.

අනෙක් අතට ජේ. ආර්. ජයවර්ධනගේ සංවර්ධන සිහිනයද සැබෑවක් වෙමින් පවතින්නේ යැයි කියනු ලැබේ. ඔහුගේ රජය සැලසුම්කරණය කෙරෙහි අවධානය යොමු කොට තිබුණද සංවර්ධන කතිකාව ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක දුටු සිහිනයක් නොවේ. ප්‍රගතිය සහ සමාජවාදය පිළිබඳ වාමාංශික අදහස් හරහා සංවර්ධනය පිළිබඳ අදහස් සිරිමා බණ්ඩාරනායක රජය සමයේ කරළියට පැමිණියේය.

ජෙගනාදන් යෝජනා කරන පරිදි සමාජයේ ආචාර ධර්මීය භාවය රැකීමට වැදගත් වන්නේ නීතියට වඩා ඌරුව, චාරිත්‍ර සහ ආචාර විධි ය. ඒවා තම ජිවන විලාසයන් තැන්පත් වන සේ සම්ප්‍රදායක් වඩා ගත් සමාජයක් රැක ගත් දේවල් වෙයි. රටේ දේශපාලන සහ ආර්ථික පරිමණ්ඩල මත තම ග්‍රහණය තර කරගන්නට ඉමහත් කලබලයකින් යුද වැදී ඇති අලුතින් පැණ නැඟුණු සමාජ පන්තීන් නියෝජනය කරන පාලක රෙජීමය තෝරා ගෙන ඇත්තේ රටේ පවත්නා නීතියට එරෙහිව සටන් වැදීමට ය. එපමණක් නොව එය සමාජයේ පවත්නා ඌරුව, චාරිත්‍ර සහ ආචාර විධි සහමුලින්ම නොසලකා හරින්නට පවා සූදානම් ය. මේ සියල්ල තමන් රටට අපේක්ෂා කරන්නේ යැයි පාලකයන් කියන යහපත ළඟා කර ගැනීමට ඇති බාධා ලෙස සලකා ඒවා ඉවත් කළ යුතු යැයි මෙම පාලක තන්ත්‍රය සිතන බව පෙනෙයි.

ව්‍යවස්ථාවකට ජනරජයේ පුරවැසියන් සඳහා ආරක්ෂක පවුරක් ඉදි කළ හැකිය. කෙසේ වුවද ආචාර ධර්මීයභාවය පිළිබඳ හැඟීම අවදිව තබා ගන්නට නම් ජාතියකට උද්දීප්ත මහජන පරිමණ්ඩලයක් අවශ්‍ය කෙරෙයි.෴

– සංස්කාරකවරු

මෙම ලිපිය ‘කතිකා‘ අධ්‍යයන කවයේ අන්තර්ජාල වාර සංග්‍රහයෙන් උපුටාගැණින.

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Follow Lanka Times on WordPress.com

Twitter Updates

Instagram Feed

Vehicle with green break light
sinhalaya sindiya
September 2015
S M T W T F S
« Aug    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Category

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Join 71 other followers

Tags

%d bloggers like this: